Friday, February 14, 2014

ප්‍රේතලොව දුක සහ අමනුෂ්‍ය බලපෑම්



අති උතුම් තෙරුවණට අපගේ නමස්කාරය වේවා.සාධු...සාධු...සාධු...
ධර්ම ගෞරවයෙන් යුක්තව ලිපිය කියවන්න.

පසුගිය ලිපි මගින් ඔබට අප ඉදිරිපත් කලේ සතර අපායන් අතරින් වැඩිම දුක් සහිත අපාය වන නිරය පිලිබදවය..අද අප ඔබට ඉදිරිපත්
කරන්නේ සතර අපාවලින් එක් අපායක් වන ප්‍රේතලොව පිලිබදවය.මීට පෙර ලිපියක් මගින් ඔබට ප්‍රේතයන්ගේ ස්වභාවය හා විවිධ ප්‍රේතයින් වර්ග පිලිබද හැදින්වීමක් කළෙමු.

කර්මානුරූපීව ඕපපාතිකව ප්‍රේත ලෝකයේ සත්වයන් උපත කරා යන අතර ප්‍රේතයන්,භූතයන්,කුම්භාණ්ඩයින්,යක්ෂයින් ආදී නොයෙක් නම් වලින් හදුන්වනු ලබන විරූපී ශරීර ඇති ,කටුක ආහාරයන් ආග්‍රාණය කිරීමෙන් යැපෙන නිරතුරු කුසගින්නෙන් පිපාසයෙන් පීඩා විදින ජීවීන් කොටසක් ලෙස ප්‍රේත ලෝකයේ ජීවීන් හැදින්විය හැක.මෙතැන් සිට ඒ මහා කටුක ජීවිත ගතකරන ප්‍රේතයන්ගේ දුක පිලිබද කතා කිහපයක් ඇසුරෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු...

ඇට සැකිල්ලක් බදු පාවෙන ප්‍රේතයා
(අට්ඨි සංඛලික සූත්‍රය - සංයුත්ත නිකාය - ලක්ඛන සංයුත්තය)

දිනක් මුගලන් මහරහතන්වහන්සේ ලක්ඛන මහරහතන්වහන්සේ ද සමගින් ගිජ්ජකූඨ පර්වතයේ සිට රජගහනුවර බලා පිණ්ඩපාතයේ වැඩම කරමින් සිටින අතරතුර එක්තරා ස්ථානයකදී අහසේ පාවෙමින් ඇවිද ඇවිද යන ඇට සැකිල්ලක් මුගලන් මහරහතන්වහන්සේ හට පෙනෙන්නට විය.කර්මානුරූපව මැවුණු භූත ගිජුලිහිනියන් උකුස්සන් එම ඇට සැකිල්ලට කොටමින් ඇට මිදුලු කන ආකාරය දක්නට ලැබිණි.ඇට සැකිල්ලක් බදු වූ ප්‍රේතයා වේදනාවෙන් විලාප දෙමින් කෑ ගසන ආකාරයට දුටු මුගලන් මහරහතන්වහන්සේ හට මෙබදු ආකාරයේ සත්වයන් ඉපදී සිටිනවා නොවේ දැයි සිනාවක් පහළ විය.
ඒ අසල වැඩ සිටි ලක්ඛන මහරහතන් වහන්සේ හට ඕපපාතික ජීවීන් දැක ගැනීමට තරම් හැකියාවක් නොතිබුණු බැවින් වටපිට බලා සිනහ පහළ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි ඇසීයතබුදුරජාණන් වහන්සේ ලගදී එය මගෙන් අසන්න යැයි පවසා මුගලන් මහරහතන් වහන්සේ නිහඩ විය.
එදින සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග රැස් වූ අවස්ථාවේදී එදින දුටු පුදුම සහගත ප්‍රේතයා පිලිබදව කතාවක් ඇති විය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තථාගතයන් වහන්සේ ඒ ප්‍රේතයා මීට කලින් දැක තිබූ නමුත් එබදු ජීවියෙකු දුටු ශ්‍රාවකයෙක් නොසිටි නිසා බුදුරජාණන් වහන්සේ වදාල දෙයක් ශ්‍රාවකයන් සැක උපදවයි යන අදහසින් නොවදාල බවයි.නමුත් දැන් ඍද්ධි බලසම්පන්න ශ්‍රාවකයන් ඒ ප්‍රේතයා දැක ඇති බැවින් ඔහුගේ තොරතුරු වදාරන්නෙමි යි පවසා, මහණෙනි ඔය සත්වයා රජගහනුවර ජීවත් වුනු හරක් මරන මිනිහෙක්යැයි පැවසීය.ඒ කර්මයේ විපාක වශයෙන් අවරුදු දසදහස් ගනණක් නිරයේ පැසී ඒ කර්මයේ ඉතුරු විපාක විදවීම පිණිස
ඔය ආකාරයට ප්‍රේත ලොව උපත ලබා ඇතැයි පැවසීය.

කඩු වැනි ලොම් ඇති ප්‍රේතයා
(අසිලෝම සූත්‍රය - සංයුක්ත නිකාය - ලක්ඛණ සංයුක්තය)

දිනක් ගිජ්ජකූඨ පර්වතයෙන් පහළට වඩිද්දී මුගලන් මහරහතන්වහන්සේ හට අහසේ පාවෙමින් යන මස් වැදැල්ලක් වැනි ප්‍රේතයෙක් දකින්න ලැබුණා.ඒ ප්‍රේතයාගේ ඇගේ ලොම් කඩු වැනි ස්වභාවයෙන් යුක්තයි.ඒ කඩු වැනි වූ ලොම් කැරකිලා ඇවිත් ඒ සත්වයාගේ ඇගට වදිනවා.ඒ වේදනාවෙන් ප්‍රේතයා කෑ ගසම්න් අහසේ ගමන් කරනවා.මුගලන් මහරහතන් වහන්සේ පුදුම සහගත ඒ ප්‍රේතයා දිහා බලාගෙන ඉදලා බුදුරජාණන් වහන්සේට මේ පිලිබදව දැන්වූවා.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, මහණෙනි ඔය සත්වයා රජගහනුවරම හිටුපු ඌරන් මරණ මිනිහෙක්.ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු දසදහස් ගණන් නිරයේ පැහෙමින් දුක් වින්දා.අන්තිමට ඒ පාප කර්මයේ ඉතුරු ටික විදවන්න තමයි ප්‍රේත ලෝකයේ එවැනි උපතක් ලබා ඉපදුණේ.

අසූචි වලක ගිලුණු ප්‍රේතයා
(ගූථ කූප සූත්‍රය - සංයුක්ත නිකාය - ලක්ඛණ සංයුක්තය)

දිනක් මහරහතන් වහන්සේ නමක් හට අසූචි වලක ඔලුවත් සමග ගිලුණු පුරුෂ රූපයක් දකින්න ලැබුණා.අසූචි වලේ දගලමින් වේදනාවෙන් විලාප දෙන ඒ ප්‍රේතයාගේ ශරීරය පුදුම සහගතයි.එදා සවස් වරුවේ භික්ෂූ සංඝයා රැස්කරලා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රේතයාගේ ස්වභාවය විස්තර කොට මෙසේ වදාළා.මහණෙනි,ඔය සත්වයා මේ රජගහනුවර මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිලා හිටපු වැරදි කාම සේවනයේ යෙදුණු කෙනෙක්.පරදාර සේවනයේ විපාකයක් වශයෙන් අවුරුදු දහස් ගණනක් නිරයේ දුක් විදලා ඉතුරු විපාක විදවන්නයි අසුචි වලක ඔය විදිහේ උපතක් ලබලා තියෙන්නේ.

යකඩ වස්ත්‍ර හැදගත් ප්‍රේතිය
(මහාපේසකාර ප්‍රේත වත්ථුව )

දිනක් මහරහතන්වහන්සේ නමක් පිණ්ඩපාතය වඩින අතරතුර ඉතාමත්ම විරූපී ශරීරයක් ඇති ප්‍රේතියක් පෙනී සිටියා.පෙනී සිටපු ප්‍රේතිය කියනවා ස්වාමීනී,මම ඔබ වහන්සේගේ බිරිද වෙලා හිටපු කෙනයි.ඔබ වහන්සේ ඒ කාලයේ දන්පැන් පූජා කරන විට මම බැන වැදුනා.
මම නිතරම මසුරුකමින් කෑදරකමින් ජීවත් වුනා.
ස්වාමීනී,ඔබ වහන්සේ ඒ කාලයේ දන්පැන් පූජා කරන විට ඔය දානයේ විපාක වශයෙන් එබට අසූචි,මුත්‍රා,ලේසැරව ලැබියන් කියලා මම ද්වේෂයෙන් බැන වැදුනා.වස්ත්‍ර පූජා කරන විට යකඩෙන් කරපු වස්ත්‍ර ඔබට විපාක වශයෙන් ලැබියන් කියලා බැන වැදුනා.
අනේ ස්වාමීනී,ඒ අකුසලයේ විපාක වශයෙන් දැන් මම ප්‍රේත ලෝකයේ ඉපදිලා කාලයක් තිසසේ ඒවම තමයි කකා ඉන්නෙ.අසූචි යි, මුත්‍රා යි ,ලේ යි,සරව යි තමයි කර්මානුරූපව මගේ කුසගිනි වේදනාව නිවාගන්න මට කන්න ලැබෙන්නේ.මට වස්ත්‍ර ලැබෙන්නේ නැහැ.
යකඩෙන් කරපු බරෙන් යුක්ත වස්ත්‍රයක් තමයි කර්මානුරූපව මට ලැබිලා තියෙන්නේ.විරූපී ශරීරයක් ඇතිව ප්‍රේත ලෝකයේ ඉපදිලා මේ තරම් දුක් පීඩා විදින්නේ එදා මනුස්ස ලෝකෙදි ධානය වලක්වමින් මසුරු කමෙන්,නින්දා අපහාස කිරීමේ විපාකය නිසයි.

මිනිසුන්ගේ ලේ බිබී ජීවත් වන විරූපී ප්‍රේතයා
(නාගපේත වත්ථුව - ඛුද්දක නිකාය - ප්‍රේථ වත්ථු පාළි)

දිනක් ඍද්ධි බලසම්පන්න මහරහතන්වහන්සේ නමක් හට මිනිසුන්ගේ ලේ බොමින් ජීවත් වන කැඩුනු බිදුණු අතපය ඇති විරූපී ශරීරයකින් යුතු ප්‍රේතයෙන් දකින්නට ලැබුණා.දඩු මුගුරු අත් වලින් දරාගෙන දුකෙන් හඩහඩා වේදනා විදිමන් ඇගේ නූල් පොටක් නැතිව කර්මානුරූපීව ප්‍රේත ලෝකයේ අමනුස්සයන් අතර ඉපදී සිටින මේ ප්‍රේතයා දිහා බලලා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පාපයක් කරලද මේ විදිහේ උපතක් ලැබුණේ කියලා මහරහතන්වහන්සේ ඇහුවා.
අනේ ස්වාමීනී,මනුස්ස ලෝකෙ සිටිද්දී මගේ ලොකු පුතා දන් දුන්නා,බොහෝ දුන්නේ බොහෝ පින්දහම් රැස් කලා.අද එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා බොහෝ සැපසම්පත් විදිනවා.ඒ විතරක් නොවෙයි,අපේ මධ්‍යම පුතා දානපතියෙක් වෙලයි හිටියේ.අද එයත් දිව්‍ය ලෝකේ බොහෝ සැපසම්පත් විදිමින් දිව්‍යමය වූ පංචකාමයන්ලෙන් සතුටු වෙවී ජීවත් වෙනවා.ඒ විතරක් නොවෙයි,අපේ බාල දෝනි තමන්ට ලැබිච්ච කොටසින් භාගයක්ම දන් දුන්නා.දැන් ඉතින් ඇයත් දිව්‍ය ලෝකෙ ඉපදිලා සැප සේ සතුටු වෙනවා.
නමුත් ස්වාමීනී,අපේ දරුවෝ හිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පූජා කරන විට අපි බැන වැදුණා.මුසුරු කමෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා.අද මගේ දරුවෝ දිව්‍ය සැපයෙන් සතුටු වෙනවා.නමුත් මම ඒ අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලෝකයේ ඉපදිලා දුක් විදිනවා.
එවිට මහරහතන්වහන්සේ අහනවා ප්‍රේතය,ඔබලාගේ කෑම බීම මොනවාද,කියලා.ස්වාමීනී අපි කරන්නේ මිනිසුන් ආරවුල් ඇති කරගෙන ඇන කොටා ගනිද්දී ගලන ලේ ,සැරව බොන එකයි.අපට කොච්චර බිව්වත් ඇති වෙන්නේ නැහැ...

බුදුරජාණන් වහන්සේව බය කිරීමට උත්සාහ කළ යක්ෂයා
(සුචිලෝම සූත්‍රය - සංයුක්ත නිකාය - යක්ඛ සංයුක්තය)

දිනක් ඛුදුරජාණන් වහන්සේ ගයාවේ එක්තරා ප්‍රදේශයක පිහිටි සුචිලෝම යක්ෂයා වාසය කරන ප්‍රදේශය අසල භාවනාවෙන් වැඩ සිටියා.ඒ අතරතුර ඛරලෝම කියන යක්ෂයාත්,සූචිලෝම කියන යක්ෂයාත් ඛුදුරජාණන් වහන්සේට නුදුරින් යමින් සිටියා.ඛරලෝම යක්ෂයා සුචිලෝම යක්ෂයාට කතා කරලා - ඒයි අන්න ශ්‍රමණයෙක්,කිසිදු බියක් නැතිව මේ ප්‍රදේශයට ඇවිත් ඉන්න ශ්‍රමණයා කවුද-කියලා පෙන්නුවා.සුචිලෝම
යක්ෂයා බුදුරජාණන් වහන්සේ ලගට ගිහින් බය කරන්න හිතාගෙන භාග්‍යවතුන් වහන්සේට හේත්තු වුනා.ඉතා රඵ ස්පර්ශයකින් යුතු නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රී ශරීරය මෑතට ගත්තා.සුචිලෝම යක්ෂයා අහනවා,-ඒයි ශ්‍රමණය නුඹ මට බයයි නේ-බුදුරජාණන් වහන්සේ වදාලා,යක්ෂය ඔබ ගැන මට කිසිම බයක් නැහැ.නමුත් ඔබේ ස්පර්ශය හරිම රඵයි කියලා.
බුදුරජාණන් වහන්සේව වචනයෙන් බය කරන්න හිතපු සුචිලෝම යක්ෂයා කියනවා,-හැබැයි ශ්‍රමණය,මම නුඹෙන් ප්‍රශ්න අහනවා,උත්තර දෙන්න බැරිවුනොත් ඔබේ මනස විකෘති කරලා සිහි විකල් කරනවා.එක්කෝ ඔබේ පපුව පලලා දානවා.එහෙමත් නැත්නම් පා වලින් අල්ලලා ගගෙන් එතෙරට විසි කරලා දානවා-කියලා.
බුදුරජාණන් වහන්සේ වදාලා,යක්ෂය ඔය කියන එකක්වත් නුඹට කරන්න ලැබෙන්නේ නැහැ.තථාගතයන් වහන්සේ හට එවැනි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් දෙවියන්,මරුන්,බඹුන්,ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කොහෙවත් නෑ.නමුත් යක්ෂයා,ඔබ ප්‍රශ්න අහන්න,මම පිලිතුරු දෙන්නම් කියලා.
සුචිලෝම යක්ෂයා අහපු ප්‍රශ්න සියල්ලටම බුදුරජාණන් වහන්සේ පිලිතුරු දීලා යක්ෂයාව දමනය කළා.අවසානයේ සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදීමට පත්වුනා.

මෙම පහතින් සදහන් විස්තරය ඉතා හොදින් කියවන්න...

ප්‍රේතයන් යනු කවරෙක්දැයි ඉහත සදහන් බුද්ධ දේශනාවන් අනුව විමසා බලන විට යම් තරමකින් හෝ වැටහීමක් ඔබට ලබාගත හැක.ඕපපාතිකව ප්‍රේත ලෝකයේ උපන් ප්‍රේතයන්,භූතයන්,යක්ෂයන් පමණක් නොව මහා සාගරයේ පවා අද්භූත ශරීර ඇති විශාල අමනුෂ්‍යන් ජීවත් වන බව බුද්ධ දේශනාවන්හි සදහන්ය.

අංගුත්තර නිකායේ සදහන් පහාරාද සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මහා සාගරය තුළ තිමි,තිමංගල,තිමිපිඩර නාග,අසුර,ගාන්ධර්ව, යන නම් වලින් යුතු,ඕපපාතිකව උපදින යොදුන් සියයක් පමණ විශාල ශරීර ඇති, යොදුන් දෙසීයක් පමණ විශාල ශරීර ඇති, යොදුන් තුන් සියයක් පමණ විශාල ශරීර ඇති,යොදුන් හාරසියයක් පමණ විශාල ශරීර ඇති අද්භූත සත්ව කොටස් ජීවත් වන බවයි.ඔවුන් අයත් වන්නේද අමනුෂ්‍ය සත්ව ඝනයන්ටම ය.

බුද්ධ දේශනාවන් ඔස්සේ විමසා බලන විට ප්‍රේත ලොව උපන් අමනුෂ්‍යන්ගෙන් මිනිසුන් හට බොහෝ හිංසා පීඩාවන් සිදුවන බව වටහා ගත හැකිය.බොහෝ ප්‍රේතයන් ආහාර ලෙස පවසා ඇත්තේ මිනිසුන්ගේ ශරීර වලින් ගලන ලේ,සැරව,දහඩිය,සොටු ආදිය අපවිත්‍ර ද්‍රව්‍යන්ගෙන් ජීවත් වන බවයි.බොහෝ අමනුෂ්‍යයින් මිනිසුන් අතර නොරිස්සුම් ඇති කරවමින් එකිණෙකා රණ්ඩු සරුවල් කරගන්නා විට ගලා යන ලේඋරා බීමට පෙළඹී සිටියි.
බොහෝ යක්ෂයින් බුද්ධ දේශනාවන්හිදී පවසා ඇත්තේ මිනිසුන්ගේ මනස විකෘති කොට දැමීමට තමන්ට හැකියාව
ඇති බවයි.

බුදුරජාණන්වහන්සේ වැඩ සිටියදී පවා විසාලා මහනුවර රෝග බිය,දුර්භික්ෂ බිය,අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කොට පිරිත් පැන් ඉසින ලෙස ආනනද හිමියන් හට පවසා රතන සූත්‍රය දේශනා කොට වදාලහ.ඒ අනුව බලන විට විසාලා මහනුවර වැසියන් හට කෙතරම් භයානක අයුරින් අමනුෂ්‍යන්ගේ උවදුරු නිසා ඇතිවන බිය පැවතුනේද යන්න වටහා ගත හැකිය.

එපමණක් නොව ප්‍රේතයන්,භූතයන්,යක්ෂයන් ආදී අමනුෂ්‍යන් ගෙන් ශ්‍රාවකයන් හට සිදුවිය හැකි අනතුරු වලින් මිදීම පිණිස ආටානාටීය සූත්‍ර දේශනය බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලහ.ඒමෙන්ම මෛත්‍රී භාවනාවේ ආනිශංස ලෙස අමනුෂ්‍යන්ගේ උවදුරු වලින් මිදිය හැකි බවද,දෙවියන්ගේ ආරක්ෂාව ලැබිය හැකි බවද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල අතර මෛත්‍රී භාවනාව වඩව ශ්‍රාවකයන් හට හිරිහැර කිරීම පිණිස යම් අමනුෂ්‍යයෙකු උත්සාහ කරයිනම් දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අත් දෙකෙන් මිරිකා ගෙන නැමීම පිණිස
උත්සාහ දරණ තැනැත්තාම ඒ හේතුවෙන් අනතුරේ වැටී වෙහෙසට පත්වන්නා සේ මෛත්‍රී භාවනාව වඩන ශ්‍රාවකයන්ට හිරිහැර කිරීමට
පැමිණෙන අමනුෂ්‍යන් අනතුරේ වැටෙන බව සංයුක්ත නිකායේ සත්තිසත සූත්‍රයේදි වදාලහ.

වෙන කවරදාටත් වඩා මේ යුගය තුළ ජීවත් වන මිනිසුන් භයානක අමනුෂ්‍යන්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බව බුද්ධ දේශනා ඇසුරෙන්ම පෙන්වා දිය හැක.
- බ්‍රාහ්මණය,මේ යුගයේ ජීවත්වන මිනිසුන් අධර්ම රාගයෙන් රත් වූවෝ වෙති.ලෝභ කමින් විශම වූවෝ වෙති.මිත්‍යා ධර්මයෙන් යුක්ත වූවන් වෙති.අධර්ම රාගයෙන්,විශම ලෝභයෙන්,මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ මිනිසුන් අතරට යක්ෂයන්,සැඩ යකුන් මුදා හරිති.ඒ හේතු කරගෙන බොහෝ මිනිසුන් මරණයට පත්වෙති.බ්‍රාහ්මණය,මේ යුගය තුළ මිනිසුන්ගේ අඩුවීමක් වේද,මිනිසුන්ගේ ක්ෂය වී යාමක් වේද,ගම්,නියම් ගම්,නගර, දනව්,ජනපදයන්ගේ ග්‍රහණය අඩුවී යාමක් වේද මේ කරුණද එක් හේතුවකි.
(මහාසාල සූත්‍රය - අංගුත්තර නිකාය - තික නිපාතය)

වර්තමානයේ වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි අයුරින් මිනිසුන් මරණයට පත්වන අවස්ථා කොතෙක් නම් ඇත්ද..ඇගේ ලේ නැතිවීම නිසා බොහෝ මිනිසුන් වර්තමානයේ මරණයට පත් වෙති.වෛද්‍යවරුන් ලියුකේමියාව ආදී නම් යොදමින් ලේ පිලිකාවක් යැයි හදුන්වා සුව කල නොහැකි යයි පවසා ගෙදර යැවූ රෝගීන් ගේ ශරීර තුළ ලේ බොමින් සිටි අමනුෂ්‍යන් ඉවත් කළ පසු ඔවුන් තවමත් හොදින් ජීවත් වන බවට සාධක වර්තමානයේ ඕනෑතරම් දැකිය හැකිය.

ඒ නිසා බටහිර විද්‍යාවන් අනුව පමණක් සෑම දෙයකම සත්‍ය අසත්‍යතාව විමසා බැලිමට උත්සාහ නොකොට ව්ද්‍යාඥයින් හට තවමත් සොයාගත නොහැකි වූ සත්වයන් ලොව පවතින බව වටහා ගත යුතුය...

මෙම කරුණු වලට අදාල නොවන නමුත් මතක තබා යුතු කරුණක් - අප විසින් බොහෝ විට මළගිය ඥාතින්ට පින් දෙනු ලබයි.නමුත්
එම මියගිය තැනැත්තා නැවත මනුෂ්‍යවෙකු වී උපත ලැබුවේනම් එම පින අනුමෝදන් වන්නේ නැත.තිරිසන් ලොව,නිරයේ,අසුරකාය තුළ උපත ලැබුවද ඒ පින් අනුමෝදන් වන්නේ නැත.පින් අනුමෝදන් වන්නේ ප්‍රේත ලොව උපන් විශේෂ සත්ව කොට්ඨාසයකට පමණි.ඒ පින් බලාපොරොත්තුවෙන් සිටින පරදත්තූප කියන ප්‍රේත කොටසයි.අපේ මළගිය ඥාතිවරයා හෝ ඥාතිවරිය පරදත්තූප නම් ප්‍රේතයන් අතර උපත ලැබුවහොත් පමණක් අප විසින් දෙනු ලබන පින අනුමෝදන් කර ගනී.ඔබ මේ කරුණ දැනගත් නමුත් මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම නතර නොකල යුතුය.මන්ද මේ දීර්ඝ වූ සසර ගමන තුළ අපේ ඥාති වූ පින් බලාපොරොත්තුවෙන් සිටින කොතෙක්
අය ඇත්ද.ඔවුන්ගේ ජීවිත යහපත් කරලිම පිණිස ඔබ පිං අනුමෝදන් කළ යුතුය.මන්ද පුණ්‍යානුමෝදනාවද පිණකි.ඔබ විසින් යමෙකු මියගිය පසු දවස් 7න්,මාසෙන් යන කාලවලදී දෙනු ලබන සාංඝික හා ධර්ම දානමය පුණ්‍ය ශක්තිය බෙහෙවින් උපකාර වන්නේ ඔබේම මෙලොව පරලොව ජීවත් වලටයි.තවද මියගිය පසු පින්පෙත් දීම බුදුරදුන් සිගාලෝවාද සූත්‍රයේ වදාල පිරිදි දරුවන් විසින් දෙමාපියනට ඉටුකළ යුතු යුතුකම් අතරින් එකකි.

අප මෙසේ ඉදිරිපත් කරන ලද ලිපියෙන් ඔබ යම් හෝ ධර්ම කරුණක් දැන ධාරණය කරගත්තායැයි සිතමු.සසර බිය ඇති කරගනිමින් තුණුරුවන් කෙරෙහි පැහැදීම ඇතිකරගැනීමටත් ,එමගින් ධර්ම මාර්ගයේ ගමන් කිරිමට පසුබිම සැකසීමත් සසර තරණය අපේ අරමුණු වේ.

මේ ධර්මදානමය කුසල කර්මය ඔබටත් අපටත් මේ ජීවිතයේදීම මාර්ගඵල පිණිස හේතු වේවා...වාසනා වේවා...
සාධු...සාධු...සාධු... 

No comments:

Post a Comment