Friday, February 14, 2014

සුගතියට හා දුගතියට මඟ පෙන්වන ධර්ම අධර්ම ප්‍රතිපදාව



මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ
ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත
හක්මන සුමනසිරි හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන දහම් දෙසමින් කොසොල් ජනපදවාසීන්ගේ සාලා නම් බමුණු ගමට වැඩි සේක. බමුණු ගමේ ජනතාව අතරත් අවට ප්‍රදේශය පුරාත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්ති රාවය පැතිර ගියත් ඒ හා සම්බන්ධව උන්වහන්සේගේ සිතෙහි කෙලෙස් හට ගැනීමක් නැත්තේ සම්පූර්ණයෙන්ම කෙලෙස් සියල්ල මුලින් උදුරා දැමූ හෙයිනි.

අරහාදී නවගුණ සමුදායයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ සාලා ගමට වැඩම කැරවීම පිළිබඳ ප්‍රවෘත්තිය මහත් වේගයෙන් දසත පැතිර යන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. ගුණවතුන්ගේ ගුණ පිළිබඳව රාවය පැතිර යන්නේ අසන හැම දෙනා තුළ ම මහත් බැතියක් මෙන් ම සොම්නසක් දනවමිනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග,ද්වේෂ ,මෝහ සම්පූර්ණයෙන්ම දුරු කළ සේක.උන්වහන්සේගේ ගුණ සුවඳ දෙවියන් සහිත සමස්ත ලෝකය පුරා ම පැතිර ගියේ කිසිදු වෙනසක් නැතිවම ය. සීලාදී ගුණ සුවඳ පමණක් ම උඩු සුළගෙහි මෙන් ම යටි සුළගෙහි ද පැතිර යවන්නේ වෙනසකින් තොරව ය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුල මැද අග කියන තුන් තැනම යහපත් වනුයේ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුක්තව දහම් දෙසන බැවිනි. සමස්ත ධර්මදේශනාව ම මුළුමනින් ම පිරිසුදු නිවන් මඟ පැහැදිලි කරන අතර තිරසාර අරමුණ වනුයේ ශ්‍රාවකයා නිවනට පමුණවාලීම යි.

සාලා බමුණු ගමේ වැසියන් මහත් සොම්නසින් බුදුරජාණන් වහන්සේ සොයා ගියේ තමන් සිත් තුළ කලක පටන් පැවති ප්‍රශ්න මාලාවක් නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙනි. බුදුරදුන් හමුවට පැමිණි ඒ පිරිස තම තමන්ගේ පෞරාණික කුල සිරිත් අනුව ගෞරව දක්වමින් පැත්තකින් වාඩි වූ අතර ප්‍රශ්න වාරය පැමිණියේ ඉන් අනතුරුව ය. මුල් ම ප්‍රශ්නය වූයේ සාලා බමුණු ගමේ සමස්ත ප්‍රජාවට ම එකසේ වැදගත් වූවකි.

බුදුරජාණන් වහන්ස, මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් පහව ගිය අපාය නම් වූ නිරයෙහි උපදිනවා නම් එයට හේතුව කුමක්ද? ඒ සඳහා බලපාන ලද කරුණු මොනවා ද? එසේ ම මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් අධික සුගතියෙහි උපදිනවා නම් එයට හේතුව කුමක් ද? ඒ සඳහා බලපාන කරුණු මොනවා ද ? බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ යමෙකු මරණයෙන් පසු අපායෙහි උපදින්නේ නම් එයට ප්‍රධානම හේතුව අධර්මයෙහි දුශ්චරිතයෙහි (අධම්මචරියා -විසමචරියා) හැසිරීමයි. සැප ඇති සුගතියෙහි උපදින්නේ නම් එයට බලපාන ප්‍රධාන හේතුව ධර්මයෙහි සුචරිතයෙහි (ධම්මචරියා – සමචරියා) හැසිරීමයි.

බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන විට අනුගමනය කරන ප්‍රතිපදා දෙකකි. සාරාංශ වශයෙන් හා විස්තර වශයෙනි. ධර්මය සාරාංශ වශයෙන් දේශනා කළ විට ධර්මය කෙරෙහි පි‍්‍රය උපදවන තැනැත්තා දෙසූ ධර්මය විස්තර වශයෙන් දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. සාලා ගම්වැසි ගෘහපතියන්ටත් දැඩි ලෙස අවශ්‍ය වූයේ බුදුරජාණන්වහන්සේ සාරාංශ වශයෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් පැහැදිලි කර දැන ගැනීමට යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අසන ශ්‍රාවකයාට එම ධර්මය තමා ම අරමුණු කර ගෙන තමාට ම දේශනා කරන ධර්මයක් බව වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ චිත්ත සන්තානය තුළ පැවති කෙලෙස්වල අඩු වැඩිකම හඳුනා ගැනීමේ දක්ෂතාවය උන්වහන්සේට ම ආවේණික වූ ගුණයක් නිස යි.

අධර්මචර්යාව හෙවත් විසමචර්යාව කය මුල්කර ගෙන සිදුවන්නේ තුන් ආකාරයෙකිනි. වචනය මුල් කරගෙන එය සිදුවන්නේ සතර ආකාරයෙකිනි. මනස මුල් කරගෙන තුන් ආකාරයෙකින් සිදුවේ.

ලොව වෙසෙන සියල්ලෝ ම තමන්ගේ ජීවිතවලට පි‍්‍රයහ. නපුරු සිතින් යුතුව සත්ත්වයින් කෙරෙහි දයා රහිතව ලේ තැවරුණු අත් ඇතිව ප්‍රාණඝාතයෙහි යෙදේ නම් කයින් කෙරෙන පළමු වරදෙහි යෙදුණාවේ. අන්සතු වස්තුව ගමක නිවසක හෝ පුද්ගලයෙකු සතුව ඇති නොදුන් දෙය සොර සිතින් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම කයින් කෙරෙන දෙවන වරද වේ. ස්වාමියෙකු සිටින එමෙන්ම විවාහ ගිවිස සිටින ස්ත්‍රියක් සමඟ වරදෙහි බැඳීම කාමමිච්ඡාචාරය නම් වේ. වචනය මුල් කරගෙන සිදුවන වැරදි සතරකි. දන්නා දේ නො දන්නා බවත්, දැක්ක දේ නො දැක්ක හැටියටත් ,ඇසූ දෙය නො ඇසූ දෙය ලෙසටත් එසේ නැතිනම් යම් අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් මුසාවාද නම් වේ. මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්නට එතනට කියනව. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්නට මෙතන කියනව. මේ අන්දමින් කේළාම් කීම තුළින් සිදුවන්නේ බරපතල විනාශයකි. කිසිදු ප්‍රයෝජනයක් නැති අනවශ්‍ය අවස්ථාවල කියන, අනර්ථයක් ම ගෙන දෙන වචන හිස් වචන නමින් හැඳින්වේ. මනසේ ක්‍රියාකාරිත්වය තුළින් සිදුවන වැරදි තුනකි.අභිධ්‍යාව යනු විෂම ලෝභයයි. විෂම ලෝභයේ ස්වභාවය නම් අන්සතු වස්තුව තමාට ලබා ගැනීමේ ඇති බලවත් කැමැත්ත යි. අනුනට අයහපත, දුක,වේදනාව, අසහනය ගෙන දෙන සේ සිතීම මෙන් ම ක්‍රියා කිරීම ව්‍යාපාදය නමි. වැරදි දැක්ම මිථ්‍යාදෘෂ්ටිය නම් වෙයි. දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය නමින්ද කරුණු දහයක් ඇත.

අකුසලයේ විපාකය පැහැදිලි කරන විට කුසලයෙහි යහපත ඉතා පහසුවෙන් ම වැටහේ. ප්‍රාණඝාතයෙන් වළකිනවාත් සමඟ ම සකල සත්ත්ව ප්‍රජාව කෙරෙහි මෙත් කරුණාදි ගුණ පැතිරවීමත්,අවි ආයුධ දඬු මුගුරු බහා තැබීමත්, ආදි ගුණ සමුදායක් වරදින් මිදෙනවාත් සමඟ ම හදවෙතෙහි ඇතිවේ.මෙලෙසින් තිදොරින් සිදුවන වැරදි ක්‍රියාවලින් වළකිනවාත් සමඟ ම එය පසුබිම් කරගනිමින් වගා කළ යුතු ගුණධර්ම රාශියකි. දිව්‍යලෝකවල සහ මනුෂ්‍යලෝකයේ සැප සම්පත් වින්දනය කරමින් ජීවත්වීමට හේතු වන්නේ ද කුසලචර්යාව හෙවත් සමචර්යාවයි. ලෞකික සැප සම්පත්වල පවත්නා නිසරු ස්වභාවය අවබෝධ කරගෙන සසර දුකින් මිදී ලබන නිවන් සුව මේ ජීවිතයේ දීම ලැබීම සඳහා උත්සාහ කරන්නේ නම් ඒ සඳහා ද අවස්ථාව උදා වන්නේය.

බුදුරජාණන් වහන්සේ සාලා බමුණු පිරිස හමුව මේ ධර්ම ප්‍රතිපදාව විවරණය කළ විට මහත් සොම්නසට පැමිණි ඔවුහු අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ යන බවට ප්‍රතිඥා දෙමින් දහම් ප්‍රතිපදාව මැනවින් අවබෝධ වූ බව සතුටින් ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment