Friday, February 14, 2014

රූප සුන්දරිය පණු සුන්දරිය වූ වගයි!


රූප සුන්දරිය පණු සුන්දරිය වූ වගයි!

අනිත්‍යය නොහඳුනන භික්ෂුවකට ඒ පිළිබඳ අවබෝධය ලබාගැනීමට බුදු රජාණන් වහන්සේ ලබා දුන් ප්‍රායෝගික අවස්ථාවක් මේ ලිපියෙන් හෙළි වේ.


සුසීමා දමයන්ති සමරසිංහ
පොල්ගහවෙල

සිරිමා නමැත්තිය රජගහ නගරවාසී සියල්ලන් දන්නා හඳුනන රූප ශෝභාවෙන් අතිශය පියකරු යෞවනියක්. ඇය සුපතළ ජීවක වෙදතුමාගේ නැගැණියයි. එසේම ඇය නිශ්චිත ඵලයක් නැති අරමුණකට කය වෙන්දේසි කොට තබන සුප්‍රසිද්ධ නගර ශෝභිනියකි; ගණිකාවකි.
දිනක් ඇගේ දෙසවනට බුදු බණ ඇසිණි. සිතුවිලි වෙනස් වනු දැනිණි. බුදුහාමුදුරුවන් දෙසූ දහම් සිත ඇතුළට ම කිඳාබැස ගොස් තිබිණි. ධර්මය ඇසූ සිරිමාව සෝවාන් ඵලය ලබාගත්තා ය.
“අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි.”
බුදුන් වහන්සේගේ දේශනාවෙන් ජීවිතයෙහි යථා තත්ත්වය
ඇයට අවබෝධ විය.
“කොහෙද ඉතින් මේ වන තුරුත් කායික සබඳතා ඇති කරගත්තා මිසක්, ආධ්‍යාත්මික සබඳතාවක් ඇති කරගත්ත එකක් යෑ! දැන් වත් දැහැමින් ජීවත් වන්න ඕනෑ.”
ජීවිතය පිළිබඳ යම් හෝ අවබෝධයක් නොතිබුණු ඇය ලබාගත් ධර්ම අවබෝධයෙන් ඇයගේ ජීවිතය වෙනස් විය.
දිනක් බුදුහාමුදුරුවන් හමු වීමට ගිය ඇය උන් වහන්සේට වැඳ නමස්කාර කර ‘ස්වාමිනී, හෙට දිනයේ මාගේ නිවෙසට වඩිනු මැනවි. ඔබ වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට මම දානයක් පිළිගන්වන්නෙමි.” යි කීවා ය.
ඒ අනුව ඇය ‘අට්ඨසලාකභත්ත’ නම් වූ දිනපතා සලාක ක්‍රමයට තෝරාගත් සංඝයා වහන්සේ අට නමකට දන් දීමට බුදුරදුන්ගෙන් අවසරය ලබාගත්තා ය.
සිරිමාගේ ආරාධනාව පිළගත් බුදු හිමියන්ගේ අනුමැතිය පරිදි දිනපතා අටනමක් වැඩියහ.ඒ දානය පිළිබඳව මෙබඳු කතාවක් ඇති විණි.
“ඉතාම ප්‍රණීතයි, බොහෝම ශ්‍රද්ධාවෙන් දානය පූජා කරනවා. එකනමකට පූජා කරන දානය තුන්හතර නමකට ම සෑහෙනවා. ඒ විතරක් ද? ඇගේ රූප ශෝභාව මෙන්න මෙහෙමයි, මෙන්න මෙහෙමයි...”
දිනක් ඒ භික්ෂූන් අතරට වැඩහුන් ආගන්තුක තරුණ භික්ෂුවකට එය කන වැටිණි. ඉන් සැල වූයේ දානයටත් වඩා ඇගේ අතිවිශිෂ්ට වූ රූප ශෝභාවේ වර්ණනාව යි. ඔහුට ඈ පිළිබඳ අදහසක් පහළ වුණා.
මේ භික්ෂුව නොසන්සුන් විය.
“හරි!, මම හෙට ම යනවා ඔය කියන සලාක බත් වාරයට.’’
එදින දානයට වඩින භික්ෂූන් අතරට මේ ආගන්තුක තරුණ භික්ෂුව ද එක් විය. එහෙත් සිදු වූයේ අනෙකකි.
“අද සේවිකාවන් විසින් දානය පිළිගන්වනවා. එතකොට ඊයේ භික්ෂූන් වර්ණනා කළේ ඈ පිළිගැන්වූ දානය පිළිබඳව. ආ.. අර සිරිමා ද? ඇය තම සේවිකාවන්ගේ වාරුවෙන් වඳින්න වෙන්න ඇති එන්නෙ. කෝ අර පැලඳගෙන ඉන්නවයි කීව ආභරණ. හොඳටම දුර්වල වෙලා. ඊයේ අසනීප වෙන්න ඇති.’’
සිරිමාගේ වෙව්ලමින් නැවෙන අතපය, එක් වුණ දෑත් හරියට සුළඟට සෙලවෙන දිරච්ච අතුරිකිලි වගෙයි. කොයි වෙලාවේ ඇදවැටෙයි ද කියන්න බෑ.
අර ආගන්තුක තරුණ භික්ෂුව ලබාගත් දානය නොවළඳා ම විහාරයට වැඩම කොට පාත්‍රය පසෙකින් තබා හාන්සි විය.
“ස්වාමීන් වහන්ස, දානය වළදන්න.”
“මට දානය එපා.”
දින තුනක් ම ඔය විදියට ගත වන අතරතුර තෙවන දින හැන්දෑවේ, අර රෝගය නිසා සිරිමා කාලක්‍රියා කළා ය.
“ජීවක වෙද තුමාගේ නැගැණිය - සිරිමා කළුරිය කළා.”
ඒ, රජ්ජුරුවන්ගෙන් බුදුහාමුදුරුවන්ට පණිවිඩයකි.
‘මේ තමා හොඳම අවස්ථාව. ආස්වාද පක්ෂයේ දුවපු අය රූපයේ ආදීනව දැකලා කලකිරිලා නිස්සරණය පිළිගනියි. එයින් නික්මීමට, වෙන් වීමට, මිදීමට අවස්ථාවක් කරගන්ට ඒ අයට හොඳම අවස්ථාව මෙයයි.
බුදු රජාණන් වහන්සේ සිතූහ.
“සිරිමාගේ ශරීරය දවන්න එපා. අමුසොහොනෙහි බලුකැණහිලුන්ට කිට්ටු වෙන්න බැරි තරමට ආරක්‍ෂා කරලා තබන්න.”
උන් වහන්සේ ඉක්මනින් පණිවිඩයක් යැවූ සේක. දින තුනක් ගත විය.
“දරුවන් නිවෙස්වල තියලා අමුසොහොනට අනික් හැම දෙනාම පැමිණිය යුතුයි. නොපැමිණියොත් කහවණු අටක දඩයක්!” යනුවෙන් අණබෙරයක් රජගහ නුවර වටා ගියේ ය. රජ්ජුරුවෝ පැමිණ බුදුහාමුදුරුවන්ටත් සංඝයා වහන්සේලාටත් ආරාධනා කළේ ය. එහි වඩින්නට බුදු හාමුදුරුවන් ද සංඝයා වහන්සේලා ද වැඩම කරන වෙලාවේ එක් භික්ෂු නමක් සිරිමාව නිසා සිහි මුළා කරගත් අර ආගන්තුක භික්ෂුව ළඟට පැමිණියේ ය.
“අද ශාස්තෲන් වහන්සේ සිරිමා බලන්න යනවා. ඔබ වහන්සේත් එනවාද ?”
“අපොයි ඔව්. යන්න ඕනෑ.”
පාත්තරේ පිළිණු බත් විසිකරලා සෝදලා බලන කොට මළකඩත් අල්ලලා. ඉක්මනට ශුද්ධ පවිත්‍ර කරලා එල්ලා ගෙන පිටත් වුණා.
“මේ මොකද පිරිස මෙතන රැස්වෙලා?”
කුණු ශරීරයක් පුපුරපු කුණු බත් හැළියක් වගේ, පණු කැදල්ලක් වගේ නව දොරින් පණුවන් වැගිරෙනවා.
“රජතුමනි, කාගෙද මේ සිරුර?” බුදු රජාණන් වහන්සේ රජතුමාගෙන් විමසූ සේක.
“ස්වාමීනී, ජීවක වෙදතුමාගේ නැගැණිය, සිරිමාගේ සිරුයි මේ.”
“එහෙනම් නගරයේ අණබෙර ගහලා මේ ශරීරය වෙන්දේසි කරන්න” බුදු රජාණන් වහන්සේ වදාළ සේක.
කහවණු දහසේ සිට අඩු කර, කහවණුව අඩුම මුදලට කාකණිය දක්වා අඩු කර වෙන්දේසියේ තැබිණ. කවුරුවත් ගන්න ඉදිරිපත් වුණේ නැත.
“නොමිලේ දෙනවා.”
ඒත් එය ගන්නා අයෙක් නම් නැත.
“මහණනි, බලන්න. මහජනතාවට පි‍්‍රය මේ කාන්තාව පෙර මේ නගරයේ ම දහසක් දීලයි එක දවසකට වෙන් කරගත්තේ. දැන් නිකම්වත් ගන්න කෙනෙක් නැහැ.”
බුදු රජාණන් වහන්සේ රූපයේ ස්වභාවය වදාළ සේක. මුළාවට පත් භික්ෂුවට සත්‍ය තත්ත්වය වැටහිණි. අන්ධ වූ ඇස් විවර විය.
“ලොව මම, මගේ, මගේ ආත්මය යැ යි ගත හැකි කිසිවක් නැත.”
ධර්මය අවබෝධ විය. සෝවාන් ඵලයට පත් විය.

(ධම්මපද අටුවාව ඇසුරු කැරිණි.)

No comments:

Post a Comment