Friday, February 14, 2014

සක්වල ගැන දැනගනිමු..


අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූත් අප්‍රමාණ වූත් ගුණස්කන්ධයන්ට අපගේ නමස්කාරය වේවා..
මෙතැන් සිට සක්වල විස්තරය.....(සක්වල විභංගය)

මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.
වියත් 2 = රියන් 1
රියන් 7 = යෂ්ඨි 1
යෂ්ඨි 20 = ඉස්බ 1
ඉස්බ 80 = ගවු 1
ගවු 4 = යොදුන් 1

මිනිසාගේ ආයුෂය - මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්‍යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.

සැලකිය යුතුය - සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ.

බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම - අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ.

මහ පොළොවේ පිහිටීම - මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන්
960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි.

තල එකිනෙක පිළිබ‍ද විස්කරය මෙතැන් සිට....

මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල
පඤ්චස්කන්ධය පවතී*.
බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

කාම ලෝක කියන්නෙ මේවා.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.

රූප ලෝක කියන්නෙ මේවා.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

අරූප ලෝක කියන්නෙ මේවා.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.

දැන් එකිනෙක විස්තර කර ගනිමු.
දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).‍මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ
කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,
ප්‍රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත.

සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය
මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට
අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත.

දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු.
චාතුර්මහා රාජිකය - දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000)
තාවතිංස - දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000)
යාම - දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000)
තුසිත - දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000)
නිම්මාණරති - දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000)
පරිනිම්මිත වසවත්ති - දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000)

රූප භූමි දහසය
මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය.

දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු.
බ්‍රහ්මපාරිසජ්ජ - අසංඛ්‍ය කල්ප 1/3
බ්‍රහ්මපුරෝහිත - අසංඛ්‍ය කල්ප 1/2
මහා බ්‍රහ්ම - අසංඛ්‍ය කල්ප 1
පරිත්තාභ - මහා කල්ප 2
අප්පමාණභ - මහා කල්ප 4
ආභස්සර - මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය)
පරිත්ත සුභ - මහා කල්ප 16
අප්පමාණ සුභ - මහා කල්ප 32
සුභකිණ්න - මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ)
වෙහප්ඵල - මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ)
අසඤ්ඤසත්ත - මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි)
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක
අවීහ(ශ්‍රද්ධාදිකයෝ) - මහා කල්ප 1000
අතප්ප (වීර්යාදිකයෝ) - මහා කල්ප 2000
සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) - මහා කල්ප 4000
සුදස්සී (සමාධි අධිකයෝ) - මහා කල්ප 8000
අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) - මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව
දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා
චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත)

අරූප ලෝක
ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි)‍.අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි.

දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු.
ආකාසානඤ්චායතනය - මහා කල්ප 20000
විඤ්ඤාණඤ්චායතන - මහා කල්ප 40000
ආකිඤ්චඤ්ඤායතන - මහා කල්ප මහා කල්ප 60000
නේවසඤ්ඤානාසඤ්ඤයතන - මහා කල්ප 84000

‍එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි.

දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු.

1.අපාය භූමි - පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ.
2.සුගති - අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි.
3.තිරිසන් - සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ.
4.මනුෂ්‍ය - ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ.
5.චාතුර්මහා රාජිකය - සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින්
6.තාවතිංස - මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය)
7.යාම - දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන්
8.තුසිත - ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන්
9.නිම්මාණරති - තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන්
10.පරිනිම්මිත වසවත්ති - අනුන් මවා දෙන සම්පත් විදින
11.බ්‍රහ්මපාරිසජ්ජ - මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන
12.බ්‍රහ්මපුරෝහිත - මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන
13.මහා බ්‍රහ්ම - ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින්
14.පරිත්තාභ - ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්
15.අප්පමාණභ - පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්
16.ආභස්සර - හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින්
17.පරිත්ත සුභ - ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්
18.අප්පමාණ සුභ - පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින්
19.සුභකිණ්හක - ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින්
20.වෙහප්ඵල - විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින්
21.අසඤ්ඤසත්ත - සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින්
22.සුද්ධාවාස - අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්
23.අවීයහ - සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින්
24.අතප්ප - තැවීම් කිසිත් නැති බැවින්
25.සුදස්ස - පරම සුන්දර සැප ඇති බැවින්
26.සුදස්සී - අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින්
27.අකනිට්ඨ - කිසිවෙකුට කනිටු නොවන බැවින්

සක්වල විභංගය අවසානයි.මෙම ලිපිය නිර්මාණය කල අපටත් කියවු ඔබටත් නිවනින්ම සදා සැනසෙන්නට හැකියාව ලැබේවා...

ආනන්තරීය පවකටත් වඩා භයානක නියත මිථ්‍යාදෘෂ්ටිය


ලොව සෑම දෙයක් ම අනිත්‍ය ස්වභාවයට පත්වන නිසා දුක යැයි සසර පිළිබඳ දැනීමත්, දුක් ඇතිවීමට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගැනෙන තෘෂ්ණාව යයි දැනීමත්, මෙම ති‍්‍රවිධ තෘෂ්ණාව නැතිකිරීම නිවන බව දැනීමත් දුක් නැතිකිරීම සඳහා පිරිය යුතු එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනීමත් සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.
මේ අනුව පැහැදිලි වනුයේ දුක - දුක ඇතිවීමට හේතුව - දුක නැතිකිරීම - එම දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්මා දිට්ඨිය බව ය. “සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි” යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන්නේ ද පඤ්චස්කන්ධය පිළිබඳව යථාවබෝධය - ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සම්මාදිට්ඨිය බව යි. මිථ්‍යා දෘෂ්ටිය නැතිකර දමන අවබෝධ ඥානය සම්මා දිට්ඨිය යි.

දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ(මේ අදහස් වලින් තොර වීම ලෞකික සම්මාදිට්ටිය වේ)
නත්ථි දින්නං, - දීමෙහි විපාක නැත.
නත්ථි යිට්ඨං, - මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
නත්ථි හූතං, - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, - - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
නත්ථි අයං ලෝකෝ, - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
නත්ථි පරෝ ලෝකෝ, - මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
නත්ථි මාතා, - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
නත්ථි පිතා, - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සත්තා ඕපපාතිකා, - ඕපපාතික සත්වයන් නැත.
නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.(නියත මිත්‍යාදෘෂ්ටි සූත්‍රය-අංගුත්තර නිකාය-දසක නිපාතය )
යනුවෙන් නිර්මාණවාදය පිළිගෙන ශාස්වත දෘෂ්ටියට වැටී මෝක්ෂය සෙවීම නියත මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දක්වනු ලැබේ.
මෙසේ නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය. හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි. දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත. එහෙත් ඬයත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.
ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර
නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.නමුත් නියත මිථ්‍යාදෘෂ්ටිය‍ට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත්
දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.

විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ.සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය.ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත්
වීමංසන බුද්ධියෙන්ය.තර්කය යනු අසත්‍ය සත්‍ය ලෙසත්,සත්‍ය අසත්‍ය ලෙසත් පෙන්විය හැකි එක්තරා ආයුධයකි.
යමෙක් ඕපපාතික උපත බැහැර කරයිද ඔහු නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුතු අවාසනාවන්ත පුද්ගලයෙකු බව තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.මෙම මෝහයෙන් අන්ධ වූ පුද්ගලයා මෙලොවත් පරලොවත් අදුරෙන් අදුරට පත් වූවෙක්
ලෙස හැදින්විය හැක.

සැරියුත් මහ රහතන් වහන්සේ භික්‍ෂූන් අමතා “ඇවැත්නි යහපත් දැකීම සම්‍ය දෘෂ්ටිය යයි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. කොපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද? යනුවෙන් ප්‍රශ්න නගා උන්වහන්සේම පිළිතුරු දෙමින්, ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවකතෙම අකුසලයන් දනී ද, අකුසල මූලයන් දනී ද, කුසලයන් දනී ද, කුසල මූලයන් දනී ද, එපමණෙකින් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදුණෝ වෙයි. නිර්වාණ මාර්ගයට පිවිසුණේ වෙයි. මෙයින් පැහැදිලි වනුයේ කුසල් අකුසල් පිළිබඳව නියමාකාරයෙන් දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය බවයි. එම සූත්‍රයේ දී ම තවදුරටත් විස්තර වශයෙන් දක්වා ඇත්තේ ප්‍රාණඝාතාදී අකුසලයන් හා එම අකුසලයන් සිදුකිරීමට මුල්වන ලෝභ දෝස - මෝහ යන අකුසල මුල් හේතුවන බව දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය නමින් ගැනෙන බව ය.

බුදුරදුන් පසු පසින් යන සුනක්ඛත්ත භික්‍ෂුව ද පහත් සිතුවිලි ඇති කෙනෙක් බැවින් සුනඛයකු සේ ජීවත්වන මේ කෝරක්ඛත්තිය දුටු විට නියම තවුස් ජීවිතය මෙය යැයි මෙවැන්නෝ ම නිවන් දකින්නෝ වෙති. බුදුරදුන් වදාරණ සීලයට වඩා මෙසේ දුෂ්කර ව්‍රත රැකීම උසස් යයි අදහසක් ඇතිකර ගත්තේ ය. මොහුගේ අදහස දැනගත් බුදුපියාණෝ සුනක්ඛත්ත! ඔබට දැන් මොහු දැකීමෙන් මෙබඳු අදහසක් පහළ වූවා නොවේදැයි ඇසූ සේක. සුනක්ඛත්ත එය පිළිගත්තේ ය.
එසේ නම් සුනක්ඛත්ත ඔබ බුද්ධශ්‍රාවක නොවේ යැයි පැහැදිලි කළහ. දැන් ඔබ උසස් සීලයක් රකින පුද්ගලයෙක් යැයි මෝඩකම නිසා පැහැදීමට පත් කොරක්ඛත්තිය අදින් දින හතකට පසු ආහාර අජීර්ණයකින් මැරී කාලකඤ්ජා නමැති අසුර ලෝකයෙහි උපදිනු ඇත. මේ බලුවත රකින කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්භක නමැති සොහොනට ඔහුගේ අනුගාමිකයන් විසින් ම ලණුවලින් බැඳ ඇදගෙන ගොස් දමනු ඇත. සුනක්ඛත්ත යටිහිතින් කෝරක්ඛත්තිය සුනඛව්‍රතය රකින්නාට කැමති පුද්ගලයෙකි.ඔහු එදාම කෝරක්ඛිත්තිය හමු වී මේ සියලු විස්තර දන්වා සිටියේ ය. එය අසා “ඔය ශ්‍රමණ ගෞතමයන් විසින් කියන ලද්දක් වෙනස් වන්නේ නැත අජීරණයකින් මැරෙන බව කී නිසා අද සිට මම ආහාර පාන නො ගෙන නිරාහාරව සිටීම්” යි අධිෂ්ඨාන කරගත්තේ ය. වෙනදා ඔහු සුනඛයකු සේ හතර ගාතෙන් ගොස් බිම දමන ලද ආහාර ටිකක් කා එන ගෙදරට නො ගිය නිසා සතියක් බලා සිටි ගෙදර ගෘහ මූලිකයා හතර පස් දෙනකුට සෑහෙන මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සකසා ගෙන සුනඛ ව්‍රතය රකින තවුසා දකින්නට ගියේ ය.

ඔහු නිරාහාරව වතුර පමණක් බිබී සුනඛයකු සේ ඇදවැටී සිටිනු දැක “පින්වත් සුනක්ඛත්තයෙනි, ඔබතුමා සතියක් ම නො පැමිණි නිසා මම ප්‍රණීත මස් සහිත ආහාරයක් පිළියෙළ කරගෙන ආවෙමි. එය අනුභව කරනු මැනවැ”යි අර ආහාර භාජනය විවෘත කරත් ම අසීමිත කෑම සුවඳක් විහිදී ගියේ ය. සුනක්ඛත්ත දරාගත නො හැකි බඩගින්නෙන් සිටිය නිසා අර සියලු ම ආහාර කාගෙන කාගෙන ගියේ ය.
ප්‍රමාණයට වඩා උසුලාගත නො හැකි තරම් මස් මාංශ සහිත කෑම අනුභව කිරීම නිසාත්, දින හතක්ම බඩගින්නේ සිට එකවර ම කෑම ගැනීම නිසාත් ආහාර දිරවාගත නොහැකිව එදා රාත්‍රියේ ඔහු අභාවයට ගියේ ය. බුදුරදුන් වදාළ පරිදි උපත ලද්දේ ද කාලකඤ්ජිකා අසුර යෝනියෙහි ය. එය අතිශය දුක්ඛිත තැනෙකි. “තීර්ථකයන් විසින් කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්බක සොහොනට ගෙන නො ගොස් වෙන තැනකට දමන්නෙමු”යි ලණුවලින් ඇදගෙන ගිය ද යන යන හැම තැනක ම පිරිසිදු මිදුල් සේම ඔවුනට පෙනෙන්නට විය. අවසානයෙහි දේහය ගෙනගොස් චපමට සිදුවූයේ බීරණත්ථම්බක සොහොනට ම ය.

සුනක්ඛත්ත භික්‍ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ.
ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්‍රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ. සුනක්ඛත්ත භික්‍ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා පේ‍්‍රත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය. මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිගේ පැහැදිලි කර දීමක්ද ඇතුළත් කර ඇති හෙයින් උන්වහන්සේද
නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.

ධාතු පරිණිර්වානය



බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති ස්ථාන

මහියංගන චෛත්‍ය - කේෂ ධාතු,ග්‍රීවා ධාතු
ථූපාරාමය - දකුණු අකු ධාතුව
සේල චෛත්‍ය - ඌර්ණ රෝම ධාතුව
සේරුවාවිල චෙත්‍ය්‍ය - ලලාට ධාතුව,කේෂ ධාතු
රුවන් වැලි මහා සෑය - කුඩා ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ
දළදා මාලාගාව - වම් දන්ත ධාතුව
ගිරිගඩු සෑය - කේෂ ධාතු
සිඵමිණ මහා සෑය (තව්තිසා දෙව් ලොව) - දළදා වහන්සේ නමක්
සඵමිණි සෑය (බඹ ලොව) - වම් අකු ධාතුව
සෝමාවතිය - දකුණු දළදා වහන්සේ

ධාතු පිරිනිර්වානය -

බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.

ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.

එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.

මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.

එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා ( යමා මහ පෙළහර හෙවත් යමක ප්‍රාතිහාර්යය බුදුවරයෙකුට පමණක් කළ හැක්කකි.අහසට නැගී විවිධ ඉරියව් වලින් අවශ්‍ය තරම් බුදුරූප මැවිය හැකි වීමත්,එක් රෝම කූපයක් ගත් විට එයින් ගිනි කදක් හා ජල කදක් බැගින් එකවර මුලු ශරීරයෙන්ම පිටකිරීමට හැකිවීමත් මෙහි විශේෂත්වයයි)අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.

මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි .එසේම බුදුරදුන්ගේ ශ්‍රී පාද ලකුණු හතරම (සමනළ කන්දෙහිද ඇතුලුව)මෙම සිදුවීමත් සමගම මැකී යයි.එසේම මෙම සිදුවීම දැක පැහැදීමට පත්වන අය දෙව් ලොව උපත ලබන බවද සදහන්ය.මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.

කාම ගින්නෙන් නොදැවී යෞවනය ගතකරන්න..


බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස්‌ ස්‌ථානයකි. "යෞවන" යන්න සංස්‌කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ "යෞවනත්වය" ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ "යොබ්බන" ලෙසයි. යොබ්බන මද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එය විග්‍රහ කෙරෙනුයේ "යොබ්බනස්‌සභාවො" ලෙසයි. එහි තේරුම තරුණ බවයි. නැතහොත් තරුණකමයි.

කෙසේ හෝ වේවා මනුස්‌ස ජීවිතයේ උසස්‌ තත්ත්වයක්‌ ළඟාකර ගැනීමෙහිලා සංධිස්‌ථානය ලෙස තරුණ කාලය නැතහොත් තරුණ අවධිය හඳුන්වාදිය හැකියි. යොවුන් ස්‌වභාවය දහමෙහි ප්‍රථම වයස ලෙස හඳුන්වනු ලබනවා. අංගුත්තර නිකායේ දූක නිපාතයේ සමචිත්ත වග්ගයේ මේ පිළිබඳව සඳහන් වෙනවා.

"යුවා සුසුකාල කේසා යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා"

තරුණකම ඇති මහා කළු හිසකෙස්‌ ඇති, සොඳුරු යොවුන් විය සමන්විත පළමුවන වයස "පටමේන වයස" ලෙසයි උන්වහන්සේ පෙන්වා වදාළේ.

මිනිස්‌ ජීවිතය අවුරුදු 100 ක්‌ කියා ගතහොත් එහි පළමු අවුරුදු 33 "පඨමේන" වයසට අයත් වෙනවා. යොවුන් වියේදී කායික ශක්‌තිය දරා ගැනීමේ ශක්‌තිය ඉහළ මට්‌ටමක පවතිනවා. මෙම කාලයේදී ක්‍රියාශීලී බව උද්යෝගිමත්භාවය උපරිමයෙන් දැකිය හැකියි. තරුණ කාලය කයින් මෙන්ම මනසින් ශක්‌තිමත් කාලයක්‌. මෙම කාලය තුළ තෘප්තිමත්ව ධාර්මිකව ජීවත්වීමට අවැසි පරිසරය ගොඩනගා ගැනීමෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්. තරුණ කාලයේදී නිසි අයුරින් ජීවිතය සැලසුම් නොකළහොත් අනාගතයේදී දුක උරුම වන බව බුදුදහමේ මැනවින් පෙන්වා දී තිබෙනවා.

"අචරිත්වා බ්‍රහ්මචරියං

අලද්දා යෝබ්බනේ ධනං

ජින්නකොත්තාව ජායන්ති

‚න මච්ෙච්ව පල්ලලේ"

එය කෙසේද යත් තරුණ කාලයේ බඹසරව ජීවත් නොවී, ධනය රැස්‌ නොකොට, වයසට ගිය පසු දිය සිඳුණු මසුන්ද නැති විල්තෙරක තැවෙන මහලු කොස්‌වා ලිහිනියකු මෙන් එවැනි පුද්ගලයන්ට පසුතැවීමට සිදුවන බවයි මෙම ගාථාවේ තේරුම. එවැනි තත්ත්වයකට පත් නොවී තරුණ දූපුතුන් ධාර්මිකව තෘප්තිමත් ජීවිතයකට අඩිතාලම දමා ගැනීමට තරුණ කාලයේදී අදිටන් කරගත යුතුයි.

"සෙන්තිචාපා තිකීෙච්ව

පුරාණත්ති අනුත්තමං"

තරුණ කාලයේදී බඹසරව ජීවත් නොවී, ධනය රැස්‌ නොකොට මහලු කාලයේදී දුන්නෙන් විද බිම වැටුණු ඊතල මෙන් තමන් පෙර කී දේ සිහිකරමින් සුසුම් හෙළමින් ජීවත්වීම තරුණ ජීවිතය සැලසුම් නොකළ අයගේ ස්‌වභාවය බවයි බුදුරජාණන්වහන්සේ දේශනා කළහ.

ඊතලය දුන්නෙන් මුදාහල විගස හරිම වේගවත්. තරුණ ජීවිතයත් එහෙමයි. වේගවත්. ධෛර්ය සම්පන්නයි. දැඩි ජවයක්‌ තිබෙනවා. නමුත් ඊතලය බිමවැටුණු තැන එකී ජවසම්පන්නභාවය නැහැ. තරුණ කාලයේදී උසස්‌ ලෙස ජීවත් නොවී මහලු වූ පසු සුසුම් හෙළමින් ජීවත්වීම, තරුණ ජීවිතය නියම ආකාරයෙන් අවබෝධ කර නොගත් අයගේ ස්‌වභාවය බවයි බුදුදහමේ පෙන්වා දෙන්නේ. ධම්මපදයේ ජරා වර්ගයේ මේ බව මනාව පැහැදිලි කර තිබෙනවා.

මේ කියන කාරණාව සමීපව, සරලව තේරුම් ගැනීම සඳහා බුදුරජාණන්වහන්සේ මීට අදාළව දේශනා කළ නිධාන කතාව කෙටියෙන් හෝ දැනගැනීම ඉතාම වැදගත්.

එදවස බරණැස්‌නුවර මහා ධන සිටුවරයෙක්‌ සිටියේය. ඔහු හැඳින්වූයේ සෙට්‌ඨි නමිනි. එදා ධන සිටුවරුන්ට ආමන්ත්‍රණය කළේ ඒ නමිනි. මේ කියන ධන සිටුවරයාට සිටියේ එකම පුතෙක්‌ පමණයි. ඔහු කිසිම ශිල්ප ශාස්‌ත්‍රයක්‌ ඉගෙන ගත්තේ නැහැ. ඇති තරම් මුදල් තිබූ නිසා කෙළිදෙළින් කාලය ගත කළා. කෙසේ හෝ ඔහුගේ විවාහයට සුදුසු කාලයත් පැමිණියා. නුවර සිටි සිටු කුමරියක ඔහුට සරණපාවාදීමත් සිදුකෙරුණා. ඇයත් එම සිටු පවුලට සිටි එකම දියණියයි. කාලය ගතවුණා. මෙම සිටු පවුලේ දෙපාර්ශ්වයේම දෙමාපියෝ මියගියා. ඒ නිසා රිසිසේ ඔවුන් සතු දේපළ පරිහරණය කරමින් ජීවත් වුණා. දේපළ පරිහරණය කිරීමේදී කිසිම කළමනාකාරිත්වයක්‌ ඔවුන්ට තිබුණේ නැහැ. කිසිදු බරපතලකමක්‌ ඔවුන්ට දැනුණේ නැහැ. තරුණ කාලයේදී නටමින්, ගයමින්, සුරාසොඬින් ජීවත්වුණා. කාලයක්‌ යද්දී මේ දෙදෙනා සතුව තිබූ දේපළ විනාශ වුණා. අවසානයේදී දෙදෙනාම හිඟමනට වැටුණා. දිනක්‌ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි විහාරස්‌ථානයට මේ දෙදෙනා පැමිණියා. එම අවස්‌ථාවේදී අප ඉහත සඳහන් කළ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

යෞවනත්වයට හොඳ ආදර්ශ පාඨයක්‌ බුදුරජාණන් වහන්සේ ජාතක පාලියේ මුගපක්‌ඛ ජාතකයේ දේශනා කර තිබෙනවා. "යුවාචරේ බ්‍රහ්මචරියං" වශයෙන් එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ තරුණ කාලයේදී ශ්‍රේෂ්ඨ විදිහට හැසිරිය යුතු බවයි. නැතහොත් උසස්‌ ලෙස හැසිරිය යුතු බවයි.

බ්‍රහ්මචරියාව පිළිබඳ නොයෙකුත් අර්ථකථන තියෙනවා. බ්‍රහ්මචරියාව වෛදික යුගය දක්‌වා ගමන් කරන්නක්‌. බුදුරජාණන්වහන්සේ මේ සඳහා බෞද්ධ අර්ථකථනයක්‌ ලබාදී තිබෙනවා. දානය, වතාවත, ශික්‍ෂා පද එහි සඳහන් වෙනවා. උපෝශත ශීලය ද ඊට ඇතුළත් වෙනවා. විශේෂයෙන් උන්වහන්සේ ශාසන බ්‍රහ්මචර්යාව, මග්ග බ්‍රහ්මචර්යාව යනුවෙන් කොටස්‌ දෙකක්‌ පෙන්වා දී තිබෙනවා.

බ්‍රහ්මචර්යා ජීවිතයක්‌ ගතකරනවා යන්නෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනුයේ ආවාහ විවාහ වීමකින් තොරව ජීවත්වීමයි. එහෙත් බුදුදහමේ අර්ථ දැක්‌වෙන ආකාරයට ආවාහ විවාහ වී සැමියා බිරිඳ ඉක්‌මවා නොගොස්‌ බිරිඳ සැමියා ඉක්‌මවා නොගොස්‌ අෙන්‍යාන්‍ය සුහදතාවයෙන් ජීවත්වීම බ්‍රහ්මචර්යා ජීවිතයක්‌ ලෙස සැලකෙනවා. එනිසා බුදුදහම අනුව විවාහය බ්‍රහ්මචර්යා ජීවිතයකට බාධාවක්‌ නොවේ.

නමුත් භික්‍ෂු ජීවිතයේදී මේ තත්ත්වය වෙනස්‌ ශාසන බ්‍රහ්මචර්යාව කියන්නේ ශාසනික කටයුතු කරමින් විවාහ නොවී ජීවිතය පවත්වාගෙන යැමයි.

පොදුවේ ගත්කල ශ්‍රේෂ්ඨ විදිහට හැසිරීම ඒ අනුව ජීවිතය හැඩගස්‌වා ගැනීම බ්‍රහ්මචර්යා ජීවිතයක්‌ ලෙස හඳුන්වාදීමට පුළුවන්. ඕනෑම පුද්ගලයකුට, මිනිසකුට "අත්තාධිපතෙය" හෙවත් තමන් අධිපතීත්වයේ තබාගෙන ධර්මය ආරක්‍ෂා කිරීම ඉතා හොඳ දර්ශනයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. ඒ වගේම "ලෝකාධිපතෙය" යනුවෙන් දර්ශනයක්‌ තිබෙනවා. ඉන් කියවෙන්නේ ලෝකයේ යම් සම්මතයක්‌ තියෙනවා යම් දෙයක්‌ හොඳයි කියා. නැතහොත් වැරදියි කියා. නැතිනම් ඒ අනුව ක්‍රියාත්මක වන විනයක්‌, නීතියක්‌ තියෙනවා. එනිසා නීතිගරුකව ජීවත් වෙනවා. එක්‌කෝ තමන් අධිපතීත්වයේ තබාගෙන නැතහොත් ලෝක සම්මතය නීතිය අනුව ඊට ගරු කරමින් යම් පුද්ගලයකුට යහපත්ව ජීවත්විය හැකියි. නමුත් මෙම තත්ත්වයන් දෙකටම වඩා යහපත් වන්නේ "ධම්මාධිපතෙය" හෙවත් ධර්මය මුල්කරගෙන ජීවත්වීමයි. එය නිවැරදි මාර්ගය බවයි බුදුදහමේ ඉගැන්වෙන්නේ.

ධර්මය අධිපතීත්වයේ තබාගෙන ක්‍රියා කිරීම ගිහි පැවිදි දෙපක්‍ෂයටම පොදු දෙයක්‌. මෙය තේරුම් ගැනීමට සරල උදාහරණයක්‌ ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාතයෙන් වළකින්න කියා. ඒ අනුව අපි සතුන් නොමරා ජීවත්වෙනවා. අනුන්ට හිංසා කිරීමෙන් වළකිනවා. එය තමයි ධර්මය. ඒ අනුව ජීවත් වෙනවා. එම ක්‍රියාකාරිත්වයට මුල්වූයේ ධර්ම්මාධිපතෙය යි.

අප කලින් සඳහන් කළ "අත්තාධිපතෙය" ගතහොත් තමන්ගේ තත්ත්වය අනුව වෘත්තීය අනුව ඊට සරිලන ආකාරයෙන් සමාජයේ යහපත්ව ජීවත්වෙනවා. මම මවක්‌, පියෙක්‌, ගුරුවරයෙක්‌, උසස්‌ නිලධාරියෙක්‌, මන්ත්‍රී කෙනෙක්‌, ඇමැතිවරයෙක්‌ එනිසා මම මගේ භූමිකාවට සුදුසු පරිදි හැසිරිය යුතුයි. ඒ වගේම සමාජයේ සම්මත නීතියක්‌ තියෙනවා. ඒ අනුව අපි හැසිරෙන්න ඕනෑ. මෙය ගැඹුරු ධර්මයක්‌ නොවෙයි. ලෝක සම්මතයට අනුව වැඩ කිරීම තමයි වැදගත්. අනෙක්‌ අයටත් තමන්ගේ පරම්පරාවෙන්, අම්මාගෙන්, තාත්තාගෙන් උරුම වූ ගුණ ධර්මයන් තියෙනවා. ඒවා ආරක්‍ෂා කර ගත යුතුයි. මේ සියලු දේවල් ආරක්‍ෂා කරමින් ජීවත් වන විට අපට ශක්‌තිමත්ව ජීවත්විය හැකියි. මෙවැනි තත්ත්වයකදී අසතුටු ස්‌වභාවයක්‌ නැහැ. එනිසා බොහොම පැහැදිලියි බුදුදහමේ නිතරම උගන්වන්නේ තෘප්තිමත්ව ජීවත්වන්නේ කෙසේද කියායි. නමුත් සමහරු මෙම ධර්මය ගැඹුරුයි සතුටින් ජීවත්විය නොහැකියි යන පුහු මතයක සිටිනවා. එය වැරදියි. "සන්තුට්‌ඨි පරමං ධනං යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළ අයුරින් සතුට තමයි පරම ධනය. එනිසා තරුණ දූ පුතුන් තේරුම් ගත යුතු දෙයක්‌ තියෙනවා. බුදුදහමට අනුව සතුටු වෙන්න පුළුවන්. එය සදාචාරාත්මකයි. විනයගරුකයි. එය මෙලොවදී ලෞකික ජීවිතය මෙන්ම අධ්‍යාත්මික ජීවිතය සුවපත් කරන්නක්‌. එය අපිට දහමින් උසස්‌ තත්ත්වයකට යැමට මාර්ගය වේවි.

තරුණ වයසේදී ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒනිසා යෞවනත්වය පිළිබඳව කතා කිරීමේදී ඒ හා බැදුණු ප්‍රේමය ගැන කතා කිරීමද වැදගත්.

තරුණ කාලයේදී තරුණ තරුණියන් ඔවුනොවුන් දෙස බැලීමත්, ඒ සමග ප්‍රේමය පිළිබඳව අදහස්‌ ඇතිකර ගැනීමත් ස්‌වභාවික දෙයක්‌.

මෙය මිනිසුන්ට පමණක්‌ නොව තිරිසන් සතුන්ටද පොදු තත්ත්වයක්‌. සතුන් පවා ප්‍රේම සබඳතා බිද වැටීම නිසා කලකිරී සිටි බව රසවානියේ සඳහන් වෙනවා.

ප්‍රේමය පිළිබඳව සිතුවිලි ඇති වන්නේ කාමාග්නිය නිසයි. නැතහොත් කාමය නමැති ගින්න නිසායි. ඒනිසා තරුණ තරුණියන්ට තමන්ට ඇතිවන හැගීම් ඒ අයුරින්ම ප්‍රකාශ කළ හැකිද? එය එසේ විය නොහැකියි. ප්‍රේමය සමග ඇතිවන සියලු හැගීම් ප්‍රකාශ කිරීමට ගියහොත් එතැන සිදුවන්නේ බිදවැටීමක්‌. ඒනිසා ඇතිවන හැගීම් පාලනය කිරීම තමයි වඩා වැදගත් වන්නේ. තමන් තෘප්තිමත් වීමේදී, සතුටු වීමේදී වෙන කිසිම ජීවිතයකට හානි නොවීමට වග බලා ගත යුතුයි. ප්‍රේම සම්බන්ධතාවය මත ගොඩනගා ගන්නා ජීවිතයෙන් කාන්තාවට , පිරිමියාට පමණක්‌ නොව සමාජ සම්මතයන්ටද හානි සිදු නොවිය යුතුයි. නමුත් සමාජ සම්මූතීන් ආරක්‍ෂා කරමින් ප්‍රේම සම්බන්ධතා ගොඩ නගාගැනීම වරදක්‌ නොවේ.

මුල් අවධියේදී ප්‍රේම සම්බන්ධතාවයක්‌ ගොඩනැගෙන්නේ විවාහ ජීවිතයම පදනම් කරගෙන නොවේ. ඇතිවන හැම ප්‍රේම සම්බන්ධතාවයක්‌ම විවාහයෙන් කෙළවර වන්නේ නැහැ. ප්‍රේමය පිළිබඳව කතා කෙරෙන දේ බොහොම සංකීර්ණයි. කෙසේ හෝ වේවා පාළුව කාන්සිය මකා ගැනීමේ මාර්ගයක්‌ ලෙසයි ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නේ. නමුත් අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ මෙම ප්‍රේමය විකාශනය වන ආකාරය පිළිබඳ විවිධ ප්‍රශ්න මතුවී තිබීමයි එක්‌කෝ මෙම ප්‍රේමය විකාශනය වන්නේ ටෙලි නාට්‍යයක ස්‌වරූපයෙන්. නැතහොත් සමාජයේ තිබෙන යම් දෙයක්‌ ස්‌මතුවීමෙන්

ප්‍රේමයේ මුලට ගිය විට තිබෙන්නේ ලෝභයයි. යම් තරුණයෙක්‌ තරුණියක්‌ කීපදෙනකු සමග සබඳකම් ඇතිකර ගැනීමත් ප්‍රේමයම තමයි. නමුත් එහි මුලට ගියහොත් තිබෙන්නේ ලොල් බව නැතහොත් ලෝභයයි. ඇලීමයි. ගැලීමයි. මෙය අනුමත කළ හැකි දෙයක්‌ නොවෙයි. එය සදාචාරය නොවෙයි. අපට පැවතිය හැකි සීමාවක්‌ තිබෙනවා. එක්‌කෙනෙක්‌ කීපදෙනකු සමග ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනුයේ ඔහුට තෘප්තිමත්වීමේ සීමාවක්‌ නොමැති වීම නිසයි.

එනිසයි බුදු දහමේ මෙය කාමාග්නියක්‌ ලෙස හැඳින්වූයේ. මෙවුන්දන් සේවනය කිරීම මිනිසාට මෙන්ම සත්වයාටද උරුම වෙච්ච දෙයක්‌.

මෙම ක්‍රියාවලියේදී තිරිසන් සතාට සීමාවක්‌ නැහැ. තිරිසනාව තැනක්‌ නොතැනක්‌, මවු පියා ඥති සබඳතා කිසිවක්‌ ගැන තැකීමක්‌ නැහැ. නමුත් මෙවුන්දන් සේවනය කිරීමේදී මනුෂ්‍යාට සීමාවක්‌ තිබෙනවා. එය තමයි සමාජ සම්මුතිය. ලෝකය පවතින්නේ සමාජ සම්මුතිය මතයි. සම්මුතිය බිඳවැටුණු තැන සමාජ ආරවුල් ඇති වෙනවා. මිනිසාගේ තිරිසන් ගතිගුණ ස්‌මතු වෙනවා.

එනිසා තරුණ තරුණියන් තම ප්‍රේම සම්බන්ධතාවයන් ගෙන යන විට කල්පනාකාරී විය යුතුයි. මෙය පිළිබඳව පුළුල්ව පැහැදිලි කිරීමට හෝ සීමා පැනවීමට අපට බැහැ. ප්‍රේම සම්බන්ධතා අද ඊයේ ඇති වුවක්‌ නොවේ. එය මානව සත්වයා බිහිවූ දවසේ සිට ඇති වූවක්‌. කෙසේ හෝ වේවා ප්‍රේම සම්බන්ධතා සමාජ සම්මුතීන් බිඳ දමමින් සීමා ඉක්‌මවා ගිය ස්‌වභාවයක්‌ අද දකින්නට ලැබෙනවා. එය අපට පිළිගන්නට බැහැ. මීට දශක තුන හතරකට පමණ පෙර තරුණ තරුණියන් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගත්තත් එහි පාලනයක්‌ තිබුණා. ප්‍රේම සම්බන්ධතා ඇති කරගත් නිසි වයසක්‌ තිබුණා. එම ප්‍රේම සම්බන්ධතා සියල්ලම විවාහයෙන් කෙළවර වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් එදා තරුණ තරුණණියන්ට හැගීම් සම්ප්‍රේෂණය කර ගැනීමේ දී පාලනයක්‌ තිබුණා. හික්‌මීමක්‌ තිබුණා. එකිනෙකාට ගෞරව කළා.

නමුත් එම තත්ත්වය අද වෙනස්‌ වෙලා. අද බොහෝ ප්‍රේම සම්බන්ධතා ආක්‍රමණශීලී ස්‌වරූපයන් අරගෙන තිබෙනවා. ඊට වෛරී සහගත ස්‌වභාවයක්‌ එක්‌වෙලා තියෙනවා. සියලුම දේවල් ඩැහැගත යුතුයි කියන ආක්‍රමණකාරී ස්‌වරූපයන් ප්‍රේම සම්බන්ධතා සමග ඇතිවෙලා තියෙනවා. එහි ප්‍රතිඵලය වශයෙන් ඒ අය දූෂණයට ලක්‌වීමට පුළුවන්. ඒ අයගේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්.

මෙහිදී තරුණ පුතුන් තේරුම් ගත යුතු දෙයක්‌ තියෙනවා. ඔබට මේ කියන ආක්‍රමණශීලී සිතුවිලි ඇතිවී තම පෙම්වතිය දූෂණය කළහොත්, විනාශ කළහොත් ඔබ අන්ත දූෂිත තත්ත්වයට පත්වෙනවා. ඔබේ සිත තුළ ඇති වන්නේ අධික වෛරය, ලෝභය මිස අන් කිසිවක්‌ නොවේ.

මෙවැනි තත්ත්වයක්‌ ඇතිවන්නේ තරුණ පෙම්වතුන් තුළ ඇතිවෙන දැඩි වේගය නිසයි. එය පාලනය කරගත යුතුයි. එය පාලනය කරගත නොහැකි නම් එය ලොකු දුර්වලතාවයක්‌. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යොවුන් මදය නැතහොත් යොබ්බන මදය පාලනය කරගත යුතු බවයි. මත්පැන්වලින් මත්වනවාටත් වඩා හැගීම්වලින් මත්වීම භයානකයි. තරුණ තරුණයිනට ශ්‍රේෂ්ඨ ලෙස (යුවාචරේ බ්‍රහ්මචරියං) හැසිරෙන ලෙසයි උන්වහන්සේ දේශනා කළේ.

"මම තිරසනෙක්‌ ලෙස නොහැසිරිය යුතුයි" යන කල්පනාව දැඩිව හිතට ගෙන තමන්ගේ තරුණකම උපයෝගී කරගෙන හැගීම් පාලනය කිරීම තමයි තරුණ තරුණියන්ගේ ශ්‍රේෂ්ඨත්වය විය යුත්තේ. ප්‍රේමය සෞන්දර්යාත්ම රසවින්දනයකට ගෙනයා යුතුයි.

අපි හැම විටම සමාජයෙන් තමයි අද්දැකීම් ලබා ගැනීමට වෙහෙසෙන්නේ සමාජයෙන් හොඳ දෙයක්‌ වෙතොත් ගන්න. නමුත් සමාජය අදහන්න එපා ෘ ධර්මය අදහන්න, ධර්මය විශ්වාස කරන්න. ඒ මත ජීවිතය ගොඩනගා ගන්න.

බුදුරජාණන් වහන්සේ වරක්‌ දේශනා කළා නුවණැතියා දිලිසෙන අඟුරු වළක්‌සේ සිතා ස්‌ත්‍රී කාම සම්භෝගයෙන් ඈත් වෙනව කියලා. ඉන් අදහස්‌ කරන්නේ නැහැ. ගිහි උදවියට කාමසම්භෝගයට ඉඩක්‌ නැහැ කියලා අඹුසැමි සබඳතාවයෙන් පමණක්‌ තෘප්තිමත් වීම බුදු දහමේ අනුමත කළ දෙයක්‌. සෑම ප්‍රේම සම්බන්ධතාවයක්‌ම ලිංගිකත්වයෙන් අවසන් වන්නේ නැහැ. එය එසේ වෙයි කියා සිතුවොත් යම්තාක්‌ දුරට අසාධාරණ විය හැකියි.

බුදුදහමේ දැක්‌වෙන ආකාරයට තෘප්තිය විවිධාකාරයෙන් විදිය හැකියි. මෙම සමාජයෙත් නොයෙකුත් විකෘති තත්ත්වයට පත්වූ කාමයන් දැකිය හැකියි. කොහොම නමුත් මේ එකම කාමය තමයි විවිධාකාරයෙන් විග්‍රහ කරනුයේ. එනිසා මෙම තත්ත්වය විද දරා ගැනීම අපට සාහිත්‍යාත්මක පසුබිමකින් අවසන් කරගත හැකිනම් ඉතා හොඳයි.

කෙසේ හෝ මේ කාමාග්නියෙන් සිදුවන්නේ රාගික සිතුවිලි නමැති ගින්නක්‌ ඇතිවීමයි. ගින්නෙන් සිදුවනුයේ හානියක්‌. දැඩි ගින්නකදී සිදුවන විනාශය බරපතලයි. ඒනිසා එය පාලනය කර ගැනීමට අපට හැකියාවක්‌ තිබිය යුතුයි.

ප්‍රේමය කියන මනෝභාවය විග්‍රහ කරනුයේ ලෝභය කියන දෙයින්. ලෝභය කියන්නේ අකුසල මූලයක්‌. හුදෙක්‌ මෙයින් අදහස්‌ වන්නේ නැහැ. විවාහය කියන්නේ අකුසලයක්‌ කියා නමුත් අපි හැමදේකම ආදීනව නිසි ලෙස හඳුනා ගැනීමෙන් එය පාලනය කරගන්න පුළුවන්. ඒ අනුව සදාචාරත්මක ලෙස හැසිරෙනවා. චර්යාවාදීන් ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අප ප්‍රේමය ආශාව, ආදරය, ඇලීම, ලෙන්ගතුකම, ආලය අනුරාගය, ස්‌නේහය ලෙස හඳුන්වනු ලබන මේ සියලු දේවල මූලය ලෝභයයි. එය නිසිලෙස වටහාගෙන ක්‍රියා කිරීමෙන් යෞවනත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්කළ හැකියි. එවන් තත්ත්වයකදී පෙම්වතිය හැරගියාට, පෙම්වතා හැරගියාට වස බොන, සියදිවි හානි කරගන්නා සමාජයක්‌ ගොඩනැගෙන්නේ නැහැ. තම පෙම්වතිය තමන් අතහැර තවත් අයකු සමග හාදවූ පමණින් ඇයට පිහියෙන් ඇන පරපණ නසන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. විලාසිතාවක්‌ මෙන් තරුණ ගැහැණු දරුවන් ඇසුරු කරන පෙම්වතුන් බිහිවන්නේ නැහැ. කාමාග්නියෙන් දැවී තම මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය දුගතියට පත්කර ගන්නා සමාජයක්‌ බිහිවන්නේ නැහැ. ප්‍රේම කරන්න. නමුත් කාමාග්නියෙන් දැවෙන අයකු වන්න එපා.

ප්‍රේතලොව දුක සහ අමනුෂ්‍ය බලපෑම්



අති උතුම් තෙරුවණට අපගේ නමස්කාරය වේවා.සාධු...සාධු...සාධු...
ධර්ම ගෞරවයෙන් යුක්තව ලිපිය කියවන්න.

පසුගිය ලිපි මගින් ඔබට අප ඉදිරිපත් කලේ සතර අපායන් අතරින් වැඩිම දුක් සහිත අපාය වන නිරය පිලිබදවය..අද අප ඔබට ඉදිරිපත්
කරන්නේ සතර අපාවලින් එක් අපායක් වන ප්‍රේතලොව පිලිබදවය.මීට පෙර ලිපියක් මගින් ඔබට ප්‍රේතයන්ගේ ස්වභාවය හා විවිධ ප්‍රේතයින් වර්ග පිලිබද හැදින්වීමක් කළෙමු.

කර්මානුරූපීව ඕපපාතිකව ප්‍රේත ලෝකයේ සත්වයන් උපත කරා යන අතර ප්‍රේතයන්,භූතයන්,කුම්භාණ්ඩයින්,යක්ෂයින් ආදී නොයෙක් නම් වලින් හදුන්වනු ලබන විරූපී ශරීර ඇති ,කටුක ආහාරයන් ආග්‍රාණය කිරීමෙන් යැපෙන නිරතුරු කුසගින්නෙන් පිපාසයෙන් පීඩා විදින ජීවීන් කොටසක් ලෙස ප්‍රේත ලෝකයේ ජීවීන් හැදින්විය හැක.මෙතැන් සිට ඒ මහා කටුක ජීවිත ගතකරන ප්‍රේතයන්ගේ දුක පිලිබද කතා කිහපයක් ඇසුරෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු...

ඇට සැකිල්ලක් බදු පාවෙන ප්‍රේතයා
(අට්ඨි සංඛලික සූත්‍රය - සංයුත්ත නිකාය - ලක්ඛන සංයුත්තය)

දිනක් මුගලන් මහරහතන්වහන්සේ ලක්ඛන මහරහතන්වහන්සේ ද සමගින් ගිජ්ජකූඨ පර්වතයේ සිට රජගහනුවර බලා පිණ්ඩපාතයේ වැඩම කරමින් සිටින අතරතුර එක්තරා ස්ථානයකදී අහසේ පාවෙමින් ඇවිද ඇවිද යන ඇට සැකිල්ලක් මුගලන් මහරහතන්වහන්සේ හට පෙනෙන්නට විය.කර්මානුරූපව මැවුණු භූත ගිජුලිහිනියන් උකුස්සන් එම ඇට සැකිල්ලට කොටමින් ඇට මිදුලු කන ආකාරය දක්නට ලැබිණි.ඇට සැකිල්ලක් බදු වූ ප්‍රේතයා වේදනාවෙන් විලාප දෙමින් කෑ ගසන ආකාරයට දුටු මුගලන් මහරහතන්වහන්සේ හට මෙබදු ආකාරයේ සත්වයන් ඉපදී සිටිනවා නොවේ දැයි සිනාවක් පහළ විය.
ඒ අසල වැඩ සිටි ලක්ඛන මහරහතන් වහන්සේ හට ඕපපාතික ජීවීන් දැක ගැනීමට තරම් හැකියාවක් නොතිබුණු බැවින් වටපිට බලා සිනහ පහළ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි ඇසීයතබුදුරජාණන් වහන්සේ ලගදී එය මගෙන් අසන්න යැයි පවසා මුගලන් මහරහතන් වහන්සේ නිහඩ විය.
එදින සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග රැස් වූ අවස්ථාවේදී එදින දුටු පුදුම සහගත ප්‍රේතයා පිලිබදව කතාවක් ඇති විය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තථාගතයන් වහන්සේ ඒ ප්‍රේතයා මීට කලින් දැක තිබූ නමුත් එබදු ජීවියෙකු දුටු ශ්‍රාවකයෙක් නොසිටි නිසා බුදුරජාණන් වහන්සේ වදාල දෙයක් ශ්‍රාවකයන් සැක උපදවයි යන අදහසින් නොවදාල බවයි.නමුත් දැන් ඍද්ධි බලසම්පන්න ශ්‍රාවකයන් ඒ ප්‍රේතයා දැක ඇති බැවින් ඔහුගේ තොරතුරු වදාරන්නෙමි යි පවසා, මහණෙනි ඔය සත්වයා රජගහනුවර ජීවත් වුනු හරක් මරන මිනිහෙක්යැයි පැවසීය.ඒ කර්මයේ විපාක වශයෙන් අවරුදු දසදහස් ගනණක් නිරයේ පැසී ඒ කර්මයේ ඉතුරු විපාක විදවීම පිණිස
ඔය ආකාරයට ප්‍රේත ලොව උපත ලබා ඇතැයි පැවසීය.

කඩු වැනි ලොම් ඇති ප්‍රේතයා
(අසිලෝම සූත්‍රය - සංයුක්ත නිකාය - ලක්ඛණ සංයුක්තය)

දිනක් ගිජ්ජකූඨ පර්වතයෙන් පහළට වඩිද්දී මුගලන් මහරහතන්වහන්සේ හට අහසේ පාවෙමින් යන මස් වැදැල්ලක් වැනි ප්‍රේතයෙක් දකින්න ලැබුණා.ඒ ප්‍රේතයාගේ ඇගේ ලොම් කඩු වැනි ස්වභාවයෙන් යුක්තයි.ඒ කඩු වැනි වූ ලොම් කැරකිලා ඇවිත් ඒ සත්වයාගේ ඇගට වදිනවා.ඒ වේදනාවෙන් ප්‍රේතයා කෑ ගසම්න් අහසේ ගමන් කරනවා.මුගලන් මහරහතන් වහන්සේ පුදුම සහගත ඒ ප්‍රේතයා දිහා බලාගෙන ඉදලා බුදුරජාණන් වහන්සේට මේ පිලිබදව දැන්වූවා.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, මහණෙනි ඔය සත්වයා රජගහනුවරම හිටුපු ඌරන් මරණ මිනිහෙක්.ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු දසදහස් ගණන් නිරයේ පැහෙමින් දුක් වින්දා.අන්තිමට ඒ පාප කර්මයේ ඉතුරු ටික විදවන්න තමයි ප්‍රේත ලෝකයේ එවැනි උපතක් ලබා ඉපදුණේ.

අසූචි වලක ගිලුණු ප්‍රේතයා
(ගූථ කූප සූත්‍රය - සංයුක්ත නිකාය - ලක්ඛණ සංයුක්තය)

දිනක් මහරහතන් වහන්සේ නමක් හට අසූචි වලක ඔලුවත් සමග ගිලුණු පුරුෂ රූපයක් දකින්න ලැබුණා.අසූචි වලේ දගලමින් වේදනාවෙන් විලාප දෙන ඒ ප්‍රේතයාගේ ශරීරය පුදුම සහගතයි.එදා සවස් වරුවේ භික්ෂූ සංඝයා රැස්කරලා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රේතයාගේ ස්වභාවය විස්තර කොට මෙසේ වදාළා.මහණෙනි,ඔය සත්වයා මේ රජගහනුවර මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිලා හිටපු වැරදි කාම සේවනයේ යෙදුණු කෙනෙක්.පරදාර සේවනයේ විපාකයක් වශයෙන් අවුරුදු දහස් ගණනක් නිරයේ දුක් විදලා ඉතුරු විපාක විදවන්නයි අසුචි වලක ඔය විදිහේ උපතක් ලබලා තියෙන්නේ.

යකඩ වස්ත්‍ර හැදගත් ප්‍රේතිය
(මහාපේසකාර ප්‍රේත වත්ථුව )

දිනක් මහරහතන්වහන්සේ නමක් පිණ්ඩපාතය වඩින අතරතුර ඉතාමත්ම විරූපී ශරීරයක් ඇති ප්‍රේතියක් පෙනී සිටියා.පෙනී සිටපු ප්‍රේතිය කියනවා ස්වාමීනී,මම ඔබ වහන්සේගේ බිරිද වෙලා හිටපු කෙනයි.ඔබ වහන්සේ ඒ කාලයේ දන්පැන් පූජා කරන විට මම බැන වැදුනා.
මම නිතරම මසුරුකමින් කෑදරකමින් ජීවත් වුනා.
ස්වාමීනී,ඔබ වහන්සේ ඒ කාලයේ දන්පැන් පූජා කරන විට ඔය දානයේ විපාක වශයෙන් එබට අසූචි,මුත්‍රා,ලේසැරව ලැබියන් කියලා මම ද්වේෂයෙන් බැන වැදුනා.වස්ත්‍ර පූජා කරන විට යකඩෙන් කරපු වස්ත්‍ර ඔබට විපාක වශයෙන් ලැබියන් කියලා බැන වැදුනා.
අනේ ස්වාමීනී,ඒ අකුසලයේ විපාක වශයෙන් දැන් මම ප්‍රේත ලෝකයේ ඉපදිලා කාලයක් තිසසේ ඒවම තමයි කකා ඉන්නෙ.අසූචි යි, මුත්‍රා යි ,ලේ යි,සරව යි තමයි කර්මානුරූපව මගේ කුසගිනි වේදනාව නිවාගන්න මට කන්න ලැබෙන්නේ.මට වස්ත්‍ර ලැබෙන්නේ නැහැ.
යකඩෙන් කරපු බරෙන් යුක්ත වස්ත්‍රයක් තමයි කර්මානුරූපව මට ලැබිලා තියෙන්නේ.විරූපී ශරීරයක් ඇතිව ප්‍රේත ලෝකයේ ඉපදිලා මේ තරම් දුක් පීඩා විදින්නේ එදා මනුස්ස ලෝකෙදි ධානය වලක්වමින් මසුරු කමෙන්,නින්දා අපහාස කිරීමේ විපාකය නිසයි.

මිනිසුන්ගේ ලේ බිබී ජීවත් වන විරූපී ප්‍රේතයා
(නාගපේත වත්ථුව - ඛුද්දක නිකාය - ප්‍රේථ වත්ථු පාළි)

දිනක් ඍද්ධි බලසම්පන්න මහරහතන්වහන්සේ නමක් හට මිනිසුන්ගේ ලේ බොමින් ජීවත් වන කැඩුනු බිදුණු අතපය ඇති විරූපී ශරීරයකින් යුතු ප්‍රේතයෙන් දකින්නට ලැබුණා.දඩු මුගුරු අත් වලින් දරාගෙන දුකෙන් හඩහඩා වේදනා විදිමන් ඇගේ නූල් පොටක් නැතිව කර්මානුරූපීව ප්‍රේත ලෝකයේ අමනුස්සයන් අතර ඉපදී සිටින මේ ප්‍රේතයා දිහා බලලා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පාපයක් කරලද මේ විදිහේ උපතක් ලැබුණේ කියලා මහරහතන්වහන්සේ ඇහුවා.
අනේ ස්වාමීනී,මනුස්ස ලෝකෙ සිටිද්දී මගේ ලොකු පුතා දන් දුන්නා,බොහෝ දුන්නේ බොහෝ පින්දහම් රැස් කලා.අද එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා බොහෝ සැපසම්පත් විදිනවා.ඒ විතරක් නොවෙයි,අපේ මධ්‍යම පුතා දානපතියෙක් වෙලයි හිටියේ.අද එයත් දිව්‍ය ලෝකේ බොහෝ සැපසම්පත් විදිමින් දිව්‍යමය වූ පංචකාමයන්ලෙන් සතුටු වෙවී ජීවත් වෙනවා.ඒ විතරක් නොවෙයි,අපේ බාල දෝනි තමන්ට ලැබිච්ච කොටසින් භාගයක්ම දන් දුන්නා.දැන් ඉතින් ඇයත් දිව්‍ය ලෝකෙ ඉපදිලා සැප සේ සතුටු වෙනවා.
නමුත් ස්වාමීනී,අපේ දරුවෝ හිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පූජා කරන විට අපි බැන වැදුණා.මුසුරු කමෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා.අද මගේ දරුවෝ දිව්‍ය සැපයෙන් සතුටු වෙනවා.නමුත් මම ඒ අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලෝකයේ ඉපදිලා දුක් විදිනවා.
එවිට මහරහතන්වහන්සේ අහනවා ප්‍රේතය,ඔබලාගේ කෑම බීම මොනවාද,කියලා.ස්වාමීනී අපි කරන්නේ මිනිසුන් ආරවුල් ඇති කරගෙන ඇන කොටා ගනිද්දී ගලන ලේ ,සැරව බොන එකයි.අපට කොච්චර බිව්වත් ඇති වෙන්නේ නැහැ...

බුදුරජාණන් වහන්සේව බය කිරීමට උත්සාහ කළ යක්ෂයා
(සුචිලෝම සූත්‍රය - සංයුක්ත නිකාය - යක්ඛ සංයුක්තය)

දිනක් ඛුදුරජාණන් වහන්සේ ගයාවේ එක්තරා ප්‍රදේශයක පිහිටි සුචිලෝම යක්ෂයා වාසය කරන ප්‍රදේශය අසල භාවනාවෙන් වැඩ සිටියා.ඒ අතරතුර ඛරලෝම කියන යක්ෂයාත්,සූචිලෝම කියන යක්ෂයාත් ඛුදුරජාණන් වහන්සේට නුදුරින් යමින් සිටියා.ඛරලෝම යක්ෂයා සුචිලෝම යක්ෂයාට කතා කරලා - ඒයි අන්න ශ්‍රමණයෙක්,කිසිදු බියක් නැතිව මේ ප්‍රදේශයට ඇවිත් ඉන්න ශ්‍රමණයා කවුද-කියලා පෙන්නුවා.සුචිලෝම
යක්ෂයා බුදුරජාණන් වහන්සේ ලගට ගිහින් බය කරන්න හිතාගෙන භාග්‍යවතුන් වහන්සේට හේත්තු වුනා.ඉතා රඵ ස්පර්ශයකින් යුතු නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රී ශරීරය මෑතට ගත්තා.සුචිලෝම යක්ෂයා අහනවා,-ඒයි ශ්‍රමණය නුඹ මට බයයි නේ-බුදුරජාණන් වහන්සේ වදාලා,යක්ෂය ඔබ ගැන මට කිසිම බයක් නැහැ.නමුත් ඔබේ ස්පර්ශය හරිම රඵයි කියලා.
බුදුරජාණන් වහන්සේව වචනයෙන් බය කරන්න හිතපු සුචිලෝම යක්ෂයා කියනවා,-හැබැයි ශ්‍රමණය,මම නුඹෙන් ප්‍රශ්න අහනවා,උත්තර දෙන්න බැරිවුනොත් ඔබේ මනස විකෘති කරලා සිහි විකල් කරනවා.එක්කෝ ඔබේ පපුව පලලා දානවා.එහෙමත් නැත්නම් පා වලින් අල්ලලා ගගෙන් එතෙරට විසි කරලා දානවා-කියලා.
බුදුරජාණන් වහන්සේ වදාලා,යක්ෂය ඔය කියන එකක්වත් නුඹට කරන්න ලැබෙන්නේ නැහැ.තථාගතයන් වහන්සේ හට එවැනි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් දෙවියන්,මරුන්,බඹුන්,ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කොහෙවත් නෑ.නමුත් යක්ෂයා,ඔබ ප්‍රශ්න අහන්න,මම පිලිතුරු දෙන්නම් කියලා.
සුචිලෝම යක්ෂයා අහපු ප්‍රශ්න සියල්ලටම බුදුරජාණන් වහන්සේ පිලිතුරු දීලා යක්ෂයාව දමනය කළා.අවසානයේ සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදීමට පත්වුනා.

මෙම පහතින් සදහන් විස්තරය ඉතා හොදින් කියවන්න...

ප්‍රේතයන් යනු කවරෙක්දැයි ඉහත සදහන් බුද්ධ දේශනාවන් අනුව විමසා බලන විට යම් තරමකින් හෝ වැටහීමක් ඔබට ලබාගත හැක.ඕපපාතිකව ප්‍රේත ලෝකයේ උපන් ප්‍රේතයන්,භූතයන්,යක්ෂයන් පමණක් නොව මහා සාගරයේ පවා අද්භූත ශරීර ඇති විශාල අමනුෂ්‍යන් ජීවත් වන බව බුද්ධ දේශනාවන්හි සදහන්ය.

අංගුත්තර නිකායේ සදහන් පහාරාද සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මහා සාගරය තුළ තිමි,තිමංගල,තිමිපිඩර නාග,අසුර,ගාන්ධර්ව, යන නම් වලින් යුතු,ඕපපාතිකව උපදින යොදුන් සියයක් පමණ විශාල ශරීර ඇති, යොදුන් දෙසීයක් පමණ විශාල ශරීර ඇති, යොදුන් තුන් සියයක් පමණ විශාල ශරීර ඇති,යොදුන් හාරසියයක් පමණ විශාල ශරීර ඇති අද්භූත සත්ව කොටස් ජීවත් වන බවයි.ඔවුන් අයත් වන්නේද අමනුෂ්‍ය සත්ව ඝනයන්ටම ය.

බුද්ධ දේශනාවන් ඔස්සේ විමසා බලන විට ප්‍රේත ලොව උපන් අමනුෂ්‍යන්ගෙන් මිනිසුන් හට බොහෝ හිංසා පීඩාවන් සිදුවන බව වටහා ගත හැකිය.බොහෝ ප්‍රේතයන් ආහාර ලෙස පවසා ඇත්තේ මිනිසුන්ගේ ශරීර වලින් ගලන ලේ,සැරව,දහඩිය,සොටු ආදිය අපවිත්‍ර ද්‍රව්‍යන්ගෙන් ජීවත් වන බවයි.බොහෝ අමනුෂ්‍යයින් මිනිසුන් අතර නොරිස්සුම් ඇති කරවමින් එකිණෙකා රණ්ඩු සරුවල් කරගන්නා විට ගලා යන ලේඋරා බීමට පෙළඹී සිටියි.
බොහෝ යක්ෂයින් බුද්ධ දේශනාවන්හිදී පවසා ඇත්තේ මිනිසුන්ගේ මනස විකෘති කොට දැමීමට තමන්ට හැකියාව
ඇති බවයි.

බුදුරජාණන්වහන්සේ වැඩ සිටියදී පවා විසාලා මහනුවර රෝග බිය,දුර්භික්ෂ බිය,අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කොට පිරිත් පැන් ඉසින ලෙස ආනනද හිමියන් හට පවසා රතන සූත්‍රය දේශනා කොට වදාලහ.ඒ අනුව බලන විට විසාලා මහනුවර වැසියන් හට කෙතරම් භයානක අයුරින් අමනුෂ්‍යන්ගේ උවදුරු නිසා ඇතිවන බිය පැවතුනේද යන්න වටහා ගත හැකිය.

එපමණක් නොව ප්‍රේතයන්,භූතයන්,යක්ෂයන් ආදී අමනුෂ්‍යන් ගෙන් ශ්‍රාවකයන් හට සිදුවිය හැකි අනතුරු වලින් මිදීම පිණිස ආටානාටීය සූත්‍ර දේශනය බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලහ.ඒමෙන්ම මෛත්‍රී භාවනාවේ ආනිශංස ලෙස අමනුෂ්‍යන්ගේ උවදුරු වලින් මිදිය හැකි බවද,දෙවියන්ගේ ආරක්ෂාව ලැබිය හැකි බවද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල අතර මෛත්‍රී භාවනාව වඩව ශ්‍රාවකයන් හට හිරිහැර කිරීම පිණිස යම් අමනුෂ්‍යයෙකු උත්සාහ කරයිනම් දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අත් දෙකෙන් මිරිකා ගෙන නැමීම පිණිස
උත්සාහ දරණ තැනැත්තාම ඒ හේතුවෙන් අනතුරේ වැටී වෙහෙසට පත්වන්නා සේ මෛත්‍රී භාවනාව වඩන ශ්‍රාවකයන්ට හිරිහැර කිරීමට
පැමිණෙන අමනුෂ්‍යන් අනතුරේ වැටෙන බව සංයුක්ත නිකායේ සත්තිසත සූත්‍රයේදි වදාලහ.

වෙන කවරදාටත් වඩා මේ යුගය තුළ ජීවත් වන මිනිසුන් භයානක අමනුෂ්‍යන්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බව බුද්ධ දේශනා ඇසුරෙන්ම පෙන්වා දිය හැක.
- බ්‍රාහ්මණය,මේ යුගයේ ජීවත්වන මිනිසුන් අධර්ම රාගයෙන් රත් වූවෝ වෙති.ලෝභ කමින් විශම වූවෝ වෙති.මිත්‍යා ධර්මයෙන් යුක්ත වූවන් වෙති.අධර්ම රාගයෙන්,විශම ලෝභයෙන්,මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ මිනිසුන් අතරට යක්ෂයන්,සැඩ යකුන් මුදා හරිති.ඒ හේතු කරගෙන බොහෝ මිනිසුන් මරණයට පත්වෙති.බ්‍රාහ්මණය,මේ යුගය තුළ මිනිසුන්ගේ අඩුවීමක් වේද,මිනිසුන්ගේ ක්ෂය වී යාමක් වේද,ගම්,නියම් ගම්,නගර, දනව්,ජනපදයන්ගේ ග්‍රහණය අඩුවී යාමක් වේද මේ කරුණද එක් හේතුවකි.
(මහාසාල සූත්‍රය - අංගුත්තර නිකාය - තික නිපාතය)

වර්තමානයේ වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි අයුරින් මිනිසුන් මරණයට පත්වන අවස්ථා කොතෙක් නම් ඇත්ද..ඇගේ ලේ නැතිවීම නිසා බොහෝ මිනිසුන් වර්තමානයේ මරණයට පත් වෙති.වෛද්‍යවරුන් ලියුකේමියාව ආදී නම් යොදමින් ලේ පිලිකාවක් යැයි හදුන්වා සුව කල නොහැකි යයි පවසා ගෙදර යැවූ රෝගීන් ගේ ශරීර තුළ ලේ බොමින් සිටි අමනුෂ්‍යන් ඉවත් කළ පසු ඔවුන් තවමත් හොදින් ජීවත් වන බවට සාධක වර්තමානයේ ඕනෑතරම් දැකිය හැකිය.

ඒ නිසා බටහිර විද්‍යාවන් අනුව පමණක් සෑම දෙයකම සත්‍ය අසත්‍යතාව විමසා බැලිමට උත්සාහ නොකොට ව්ද්‍යාඥයින් හට තවමත් සොයාගත නොහැකි වූ සත්වයන් ලොව පවතින බව වටහා ගත යුතුය...

මෙම කරුණු වලට අදාල නොවන නමුත් මතක තබා යුතු කරුණක් - අප විසින් බොහෝ විට මළගිය ඥාතින්ට පින් දෙනු ලබයි.නමුත්
එම මියගිය තැනැත්තා නැවත මනුෂ්‍යවෙකු වී උපත ලැබුවේනම් එම පින අනුමෝදන් වන්නේ නැත.තිරිසන් ලොව,නිරයේ,අසුරකාය තුළ උපත ලැබුවද ඒ පින් අනුමෝදන් වන්නේ නැත.පින් අනුමෝදන් වන්නේ ප්‍රේත ලොව උපන් විශේෂ සත්ව කොට්ඨාසයකට පමණි.ඒ පින් බලාපොරොත්තුවෙන් සිටින පරදත්තූප කියන ප්‍රේත කොටසයි.අපේ මළගිය ඥාතිවරයා හෝ ඥාතිවරිය පරදත්තූප නම් ප්‍රේතයන් අතර උපත ලැබුවහොත් පමණක් අප විසින් දෙනු ලබන පින අනුමෝදන් කර ගනී.ඔබ මේ කරුණ දැනගත් නමුත් මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම නතර නොකල යුතුය.මන්ද මේ දීර්ඝ වූ සසර ගමන තුළ අපේ ඥාති වූ පින් බලාපොරොත්තුවෙන් සිටින කොතෙක්
අය ඇත්ද.ඔවුන්ගේ ජීවිත යහපත් කරලිම පිණිස ඔබ පිං අනුමෝදන් කළ යුතුය.මන්ද පුණ්‍යානුමෝදනාවද පිණකි.ඔබ විසින් යමෙකු මියගිය පසු දවස් 7න්,මාසෙන් යන කාලවලදී දෙනු ලබන සාංඝික හා ධර්ම දානමය පුණ්‍ය ශක්තිය බෙහෙවින් උපකාර වන්නේ ඔබේම මෙලොව පරලොව ජීවත් වලටයි.තවද මියගිය පසු පින්පෙත් දීම බුදුරදුන් සිගාලෝවාද සූත්‍රයේ වදාල පිරිදි දරුවන් විසින් දෙමාපියනට ඉටුකළ යුතු යුතුකම් අතරින් එකකි.

අප මෙසේ ඉදිරිපත් කරන ලද ලිපියෙන් ඔබ යම් හෝ ධර්ම කරුණක් දැන ධාරණය කරගත්තායැයි සිතමු.සසර බිය ඇති කරගනිමින් තුණුරුවන් කෙරෙහි පැහැදීම ඇතිකරගැනීමටත් ,එමගින් ධර්ම මාර්ගයේ ගමන් කිරිමට පසුබිම සැකසීමත් සසර තරණය අපේ අරමුණු වේ.

මේ ධර්මදානමය කුසල කර්මය ඔබටත් අපටත් මේ ජීවිතයේදීම මාර්ගඵල පිණිස හේතු වේවා...වාසනා වේවා...
සාධු...සාධු...සාධු... 

ආදරය,විරහව සහ බුදුදහම



මෙබදු මාතෘකාවක් පිළිබදව කථාබහ කරන්නට පිටකත්‍රය තුල අනන්තවත් කරුණු තිබුනද කිසිවෙක් මේ පිළිබඳව කථා කිරීම අසන්නට නොලැබීම අභාග්‍යක්.

මේ සුදානම් වන්නේ ආදරය, විරහව හා බුදුදහම යන මතෘකාව යටතේ පුර්විකාවක් තැබීමටයි. මේ අනුව සිතන අයෙකුට මිට වඩා හොදින් කරුණු තෙරුම් ගන්නට ලැබේවිය යන්නයි අපේ අදහසි.

ආදරය යන්න මිනිසුන්ට අමුතු වදනක් නොවේ. කැමැත්ත, ඇල්ම, ආලය, ලෙංගතුකම, කාමය, රාගය කියන මේ වදන් වලින් අදහස්වන්නේ සමාන අදහස්. ගැහැණියෙක් පිරිමියෙක්ට ආදරය කරනවා නැත්නම් පිරිමියෙක් ගැහැණියෙක්ට ආදරය කරනවාය කියන වදන තුල ඔය සෑම වචනයක්ම අන්තර්ගත වී තිබෙනවා. මවක් හෝ පියෙක් තම දරුවන්ට ආදරය කරනවා කිව්වොත් එහි කාමය රාගය වගේ දේවල් නැති වෙන්නට පුළුවන්.

එතකොට මම තිරිසන් සතෙක්ට ආදරෙයි, නැත්නම් මගේ ජංගම දුරකථනයට, මගේ රස්සාවට ආදරෙයි කිව්වොත් එතන ඇල්ම, කැමැත්ත වගේ දේවල් තියෙනවා. මේ කරුණ කිව්වේ ආදරය කියන දෙයි විවිධාකාර මටිටම් තිබෙන බැව් ඔබට පැහැදිලි වීම සඳහා. මේ ආදරය යන්න මෛත්‍රිය, කරුණාව, මුදිතාව ආදී ගුණධර්මයන්ගෙන් වෙනස් බවත් මෙහිදි මතක තබාගත යුතුයි. එසේ නම් දැන් මාතෘකාව දෙසට යොමු වෙමු. පෙම් සබඳතා ඇතිවෙනවා. බිඳවැටෙනවා. විරහවට පත් වෙනවා. විරහෙන් තැවෙන මිනිස්සු මොනවද නොකරන්නේ. පෙම් සබඳතා බිඳ වැටීම නිසා වෛරය ඇතිවෙනවා, පිළිගැනීමේ අදහස, චිත්ත සන්තාපය, සමහර මිනිස්සු ඔය මත්පැන් වගේ දේවල් පානය කරලා ජීවිතයම නැතිකර ගන්නවා. සමහරු මිනි මරාගන්නවා. දරුණු දුක්වලට පත් වෙනවා. මේක ලෝක ස්වභාවයක්. විපරිණාම දුක්ඛය කියන එකයි ඒ අවස්ථාවලදී මිනිස්සු අත්විදින්නේ. යම් තත්වයක් තවත් තත්වයකට පෙරළිම නිසා ඇතිවන දුක යන්නයි එහි අදහස.

මේ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වන්නේ මෙවැනි තත්වයක් ඇතිවුනාම දරුණු දුකක් ඇතිවුනාම එයට සාර්ථක විදියට මුහුණ දීමට බුදු දහම උපකාරී වන්නේ කෙසේද යන කරුණයි. මේක ආදර සබඳතා බිදවැටිම විතරක් නෙමෙයි වෙන ඕනෑම දුකක් නැතිකිරිමට පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදයක්. හැබැයි යම් උපකරණයක් භාවිතා කරන්නට කලින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව යම් දැණුමක් තිබීම වැදගත් වනවා වගේම මේ ක්‍රමවේදය භාවිතා කරන්නටත් තිබිය යුතු මූලික දැණුමක් තිබෙනවා.

දැන් සූදානම් වන්නේ ඒ දැණුම ලබා ගන්නටයි. ඔබ සිතා බලන්න ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතීට ආදරය කරන්නේ ඇයි?

එහෙම නැත්නම් නිවැරදිම විදියට විමසුවොත් ඔබ ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතීගේ කැමති මොනවාටද?

උත්තර වෙන්නේ මේවා. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ රුපය දකින්න. ඔබ කැමතියි ඔහු හෝ ඇය සමග කථා කරන්නට, ඒ කියන්නේ ශබ්ධය අසන්නට. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ ඝන්ධයට (දැන් ඔබ බලයි මොකද්ද මේ ඝන්ධය කියලා. බුදු රජානන්වහන්සේම දේශනා කරලා තියනවා ස්ත්‍රි ගන්ධ සූත්‍රය හා පුරිස ඝන්ධ සුත්‍රය කියන සූත්‍ර දෙකේ ස්ත්‍රියට පුරුශයාගේ ගන්ධයත් පුරුෂයාට ස්ත්‍රියගේ ගන්ධයත් .තරම් ප්‍රිය වන්නාවු අන් කිසිදු ගන්ධයක් මම නොදකිමි. ස්ත්‍රි ඝන්ධය පුරුෂයාගේ සිතත් පුරුෂ ඝන්ධය ස්ත්‍රියගෙ සිතත් හාත්පසින් වෙලාගෙන සිටිනවාය කියලා) ඔය දේ සත්තුන්ගේ එහෙම ප්‍රකටයි. ඒකට කියන්නේ පෙරමොන කියලා.

ඔය සංසර්ගයේ යෙදෙන්න ඕන වුනාම විවිධ තිරිසන් සත්ත්වයිගේ, උරගයන්ගේ ශරිර වලින් විවිධ ඝන්ධයන් නිකුත් වෙනවා. ඒවට ගැහැණු සතුන් පිරිමි සතුන් ආකර්ශණය වෙනවා. ඒ නිකුත් කරන රසායන ද්‍රව්‍ය තමයි පෙරමෝන කියලා කියන්නේ.

ඒ බාහිර කතාවක්. එතකොට තව කැමතියි ඔබේ පෙම්වතාගේ ගෝ පෙම්වතියගේ ස්පර්ශයට ඒ වගේම රසයට. මිට අමතරව ඇය හෝ ඔහු සිතන විදියට, ක්‍රියා කරන විදියට, ඇයගේ හෝ ඔහුගේ සිතුම් පැතුම් පවතිනා විදියට ඔබ කැමතියි. ඔබ කැමති වෙන වෙන දේවල තිබුණත් ඒ හැම එකක්ම ඔය ගොඩවල් 06 ටම ඒ සෑම දෙයක්ම ගොනු කරන්න පුළුවන්.

ඊට වඩා වර්ගී කරණයක් නැහැ. ඔබට දැන් තේරෙන්න ඕන ඔබ ආදරය කරනවා කියලා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ ඔය දේවල් වලට කැමැත්තක් තියෙනවාය කියන දේ කියලා. ඒ ඔබ කැමති දේ නැවත නැවත ලැබීමට ක්‍රියාකිරිම තමයි මේ ආදරය කියන වචනයෙන් හදුන්වන්නේ. මෙහෙම මේ දේ නැවත නැවත ලැබිම තුලින් ආශ්වාදය තදින් අල්ලා ගැනීමක් සිදුවනවා.

බුදු දහමේ මේක විස්තර කරන්නේ උපාදාන කියන වචනය භාවිතා කිරිමෙන්. මෙහෙම තදින් ඇලීම සිදුවිම නිසා, ඊලඟට ඔබ හිතනවා මේ ස්ත්‍රිය හෝ පුරුෂයා, මගේය, මට අයත් වස්තුවක්ය, මට සැප ගෙන දෙන්නක්ය. හුගාක් හොදය කියලා.

ඇත්තටම ඒ ඇලිම තුලින් සතුටක් නැත්නම් ආශ්වාදයක් ගෙන දෙන නිසා බැලු බැල්මට එහි හොදක් තිබෙනවය කියා කියන්නට පුළුවන්. ආදරය තුල ආශ්වාදයක් නැතිනම් මේ ලොකයේ කිසි සත්ත්වයෙක් ආදරය කරන්නේ නෑනේ.

හරි දැන් එතකොට මෙහෙම කැමැත්තෙන් ඇලීමෙන් ඉන්නකොට, ඔහු හරි ඇය හරි වෙනස් වෙනවා. නැත්නම් වෙන කෙනෙක් එක්ක යාළුවෙනවා ඔබව අතහැරලා.

දැන් මොකද වෙන්නේ. ඔබට අර ඔබ කැමැත්තෙන් හිටිය රූපය, ශබිධය, ස්පර්ශය ආදිය ලබන්නට බැරිව යනවා. ඔබ ඒක නිසා දුකට පත් වෙනවා. එහෙම නැත්නමි ඔබ ප්‍රයත්න දරනවා, ඒ ඔබට නොලැබී ගිය ප්‍රිය රූපය, ශබ්ධය, ස්පර්ශය ආදිය නැවත ලබාගැනිමට. ඒ අහිමිව යාම සමඟ ඔබ ගැටෙනවා.

ඔය ගහමරා ගැනීම් ආදිය ඇතිවන්නේ එහෙම ඒ නොලැබී යන දේ බලෙන් ලබා ගැනීමට උත්සාහ කිරිම නිසා. එකම අරමුණක්. ඒ කියන්නේ එකම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ඔබ ඇලුනා. දැන් ඔබ ගැටෙනවා. මේ ගැටීමට තමයි ලෝක ව්‍යවහාරයේ ආදරය සම්බන්ධවන විට කියන්නේ විරහව කියලා.

විරහව කියන්නේ ඇත්තටම දුක වෙන්න පුළුවන්, එහෙම නැත්නමි වෛරය, ද්වේශය, පලිගැනිම වැනි දෙයක් වෙන්නත් පුළුවන්. අහිමි වී යාම තුලින් අත්වන දුක කියන එකයි විරහව කියන්නේ.

මේ වෛරය, ද්වේශය, පළිගැනීම ආදිය තුලින් උරුම වන්නේත් දුක්ම තමයි. එතකොට මෙතන වැදගත්ම තේරුම්ගත යුතුම දේ වන්නේ මෙයයි. මේ ආකාරයට දුකක් වේදනාවක් ඇතිවුනාම එයින් මිදෙන්න පුළුවන් වන්නේ මෙන්න මේ කියන අවභෝධය තුලින් පමණයි. ඒකට මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ඔබම සොයාගන්නට ඕන.

දැන් ඔබ ප්‍රිය කල පෙම්වතිය හෝ පෙම්වතාගේ රූපය ලස්සනයි, ලස්සනයි කියලා හිතුවේ කවුද? පිළිතුර; ඔබමයි. ඇයි එහෙම කියන්නේ? දැන් කවුරු හරි මනුස්සයෙක් ඇවිල්ලා එක එක විදියට කියනවා තමුන් ලස්සනයි කියලා. ඔබ අහගෙන ඉන්නවා. ඒ මනුස්සයා ගිතයක විදියට ඒක කියනවා.
විවිද ඇදුම් ඇදලා ප්‍රදර්ශනය කරලා ඒක කියනවා. විවිධ විදියට කියනවා කියලා හිතමුකෝ. නමුත් ඔබේ හිතේ සිතුවිල්ලක් ඇතිවුනේ නැත්නම් මේ තැනැත්තා ලස්සනයි කියලා. එහෙමත් නැත්නම් ඔබට ඒ තැනැත්තා ලස්සන නැත්නම්, ඒ තැනැත්තා මොන මොන දේ කලත් ඔබට ඒ තැනැත්තාගේන් ඇති වැඩක් නැහැ නේද? ඒ කියන්නේ ඔබට ඒ ගැන උනන්දුවක් නෑ කියන එකයි. එතකොට ඔබගේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ රූපය ලස්සනයි කියලා හිතුවේ ඔබමයි.

ඇය හෝ ඔහු ඔබට ලස්සන වුනාට වෙන කෙනෙක්ට කැත වෙන්නටත් පුළුවන්. එතකොට ඒ රූපය ලස්සනයි කියන දේ ඔබේ සිතේ ඇතිවුන දෙයක් පමණයි. එය නියත වශයෙන්ම ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතිගේ නිස්චිත වශයෙන් පවතින දෙයක් නෙමෙයි.

ඒ වගේම ඇගේ ශබ්ධය අසන්නටත් ඔබ කැමතියි. ඒ ශබ්ධය හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවුනේ ඔබේ සිතේමයි. දැන් සමහර ගායකයන්ගේ කටහඩවල් වලට ඔබ කැමැතියි සමහර අයට ඔබ කැමති නෑ.

ඔබ අකමැති ගායකයන්ගේ ගඩවල් වලට වෙන කෙනෙක් කැමති වෙන්න පුළුවන්. එතකොට ඒ ශබ්ධය ගැන ඇති කැමැත්ත හෝ අකමැත්ත ඔබේ සිතේ ඇති දෙයක් මිස ඒ ශබ්ධයේ ඇති දෙයක් නොවන බව ඔබට දැන් තෙරුමියන්නට ඕන.

ඝන්ධ, රස, ස්පර්ශ කියන දේවලුත් එහෙමම තමයි. දැන් ඇය හෝ ඔහු හිතන විදිය අනුව තමයි හැසිරිම පවත්වන්නේ. ඔබ ඇය හැසිරෙන විදියට කැමති වුනාට වෙන කෙනෙක් ඒකට අකමැති වන්න පුළුවන්. එතකොට ඒ කැමැත්ත අකමැත්ත තියෙන්නෙත් ඔබේ සිත තුල වෙන තැනක නෙමයි. එතකොට මේ හැම දෙයක් ගැම ඇතිවුන කැමැත්ත (ඇලීම) , ඒතුලින් ඇතිවුන කාම-රාගය එහෙනම් ඇතිවුනේ ඔබේ සිතේ.

එතකොට ඒ ඔබ කැමති දේවල් නොලැබීම තුලින් ඇතිවුන අකැමැත්ත, ද්වේශය විරහව එහෙම නැත්නමි ගැටීම ඒ තුලින් ඇතිවුන පටිඝය ඇතිවුනෙත් ඔබගේම සිතේමයි. මේ කියපු ටිකේ සාරංශය මේකයි. ආදරය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ, ඔහුගේ හෝ ඇයගේ රූපයට වන කැමැත්ත, ආදිය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඇය හෝ ඔහු හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඔය ඔක්කොම දේවල් ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ.

එතකොට පෙම්සබඳතාවය බිඳවැටුනහම ඇය හොද නැතය කියන සිතුවිල්ල ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇය සමග ගැටීම ඇතිවුනෙත් ඔබේ සිතේ, ඇයට වෛර කරන එක, ද්වේශ කරන එක. පළිගන්න ඕන කියන සිතුවිලි ඇතිවුනෙත් ඕබේ සිතේ. විරහව ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇත්තටම බැලුවොත් ඔබ මොනා හිතුවත්, ඔබ කෙතරමි දුක් වුනත් ඇයට ඇති වැඩක් නැති නිසා නේද ඇය ඔබව අතහැර දැමුවේ. ඔය ඔක්කොම ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ.

ඇය ඕවා දන්නෙත් නැහැ. ඔබට අවශ්‍ය පරිදි පවත්වන්නට බැරි දෙයක් ගැන විවිධාකාර සිතුවිලි ගොඩක් ඔබ විසින්ම ඇතිකරගෙන, ඒ සිතුවිලි වලට ඔබම ඇලිලා ඒ සිතුවිලි ඔබ විසින්ම එහෙම නෙමෙයි කියලා දැන් වෙනස් ආකාරයකට ඇතිකරගෙන, ඒ සිතුවිලි සමඟ ඔබම ගැටිලා ඔබම දුකට පත්වෙනවා. ඒ දුක ඇතිවන්නේත් ඔබේ සිතේ.

විරහව කියන්නේ ඔන්න ඕකයි. සාමාණයෙන් ඔය කාරනාව නොතේරෙන කවුරුත් හිතන්නේ ඒ ගෑනි තමයි මට මෙහෙම කලේ. ඒ මිනිහා තමයි මට මෙහෙම කලේ. මම ඕකව තියන්නේ නෑ. ආදි වශයෙන්. එහෙම හිතලා විවිධ ආරවුල්, ගුටිබැට ඇනගැනිමි, මිනි මරාගැනිම් සිදුකරනවා. ඇත්තටම මෙතන වෙන කෙනෙක් කරපු දෙයක් නැහැ.

ඔබ තුලමයි සියල්ල ඇතිවුනෙත්. ඔබ තුලමයි සියල්ල නැතිවුනෙත්. ඇත්තටම මෙතන මේ ඇතිවුන හැමදෙයක්ම ඇතිවුනේ මගේ සිතේ මයි. මේදේවල් හොදයි කියලත් හිතුවේ. මමයි මේ දේවල් දැන් නරකයි කියලත් හිතන්නේත් මම මයි. එදා ඒ සිතුවිලි ඇතිවුනෙත් මගේ සිතේ. අද මේ සිතුවිලි ඇතිවන්නෙත් මගේ සිතේ. මගේ සිතින් හටගත් දේ මම මයි නේද නැතිකර ගන්නට ඕන. ඒකට වෙන කිසිකෙනෙක් පළි නෑ නේද. කියන දැනීම හා අවබෝධය ඇතිව අයෙක්ට ක්‍රියා කරන්නට පුළුවන් නම්, ඒ අවබෝධය තුලින් ඇතිවෙත්ම දුක පහව යනවා. අර ඇතිවන දුක වලක්වන්නට බැහැ. බුදුපියානන්වහන්සේම දේශනා කරලා තියෙනවා ප්‍රිය විප්පයොගය දුකක්ය, අප්‍රිය සම්පයෝගය දුකක්ය, විපරිණාමය දුකක්ය යන කරුණු.

අර කලින් කියපු අවබෝධය ඇතිවන තැනැත්තාට තෙරෙනවා මේ සියල්ලම ඇතිවුනෙ මගේ සිතේ. අනේ මම සුවපත් වේවා දුකෙන් මිදෙත්වා ලත් සැපතෙන් නොපිරිහෙත්වා කියලා ඒකාත්ත වශයෙන්ම මෛත්‍රිය, කරුණාව, මුදිතාව තමා කෙරේ වැඩෙනවා. එහෙම සිතන පුද්ගලයාගේ සිතුවිලි ඊලඟට, මම මගේ සිතේ ඇතිවුන සිතුවිලි නිසා තව කෙනෙක්ට හිංසා කරන එක පීඩා කරන එක කෙතරම් නම් නරකද?

මම මේ දුක් විදින්නට කැමැත්තක් නැහැ වාගේම අනිත් මිනිස්සුත් දුක් විදින්නට කැමති නෑ. මේ මා පෙම් කල ස්ත්‍රිය හා පුරුෂයාත් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා ලත් සැපතෙන් නොපිරිහෙත්වා යනාදි වශයෙන් ඒ ඇතිවු දුක්ඛයම මෛත්‍රියකට, කරුණාවකට, මුදිතාවකට, උපේක්ෂාවකට පෙරලා ගන්නට කෙනෙක්ට පුළුවන් මේ ක්‍රමය තුලින්.

එවිට නියත වශයෙන්ම ඔබට විරහ වේදනාවෙන් මිදෙන්නට හැකි වනවා ඇති. මෙම ලිපියේ අන්තර්ගත කරුනු ගැඹුරෙන් දකින්නට අවශ්‍ය අයෙකුට එසේ දකින්නටත් පුළුවන්. ඇස, කණ, නාසය, දිව,ශරිරය, මනස කියන ෂඩායතනයන් ගෙන් ඇතුලු වන අරමුණු කෙරේ ඇලිම තුලින් කාම-රාග හටගන්නා ආකාරයත්, ඒවා සමග ගැටිම තුලින් පටිඝ ඇතිවන ආකාරයත්. කාම රාග පටිඝ ඇති‍වීමේ හේතුව වන ඇලීමි හා ගැටීමි ක්‍රියාත්මක වන අකාරයත්.

ඒ ඇලිම් හා ගැටීම් ඇතිවන්නේ තමාගේ සිත තුලම යන බැව් දැක. ඒ ඇලිම් හා ගැටීම් ඉවත් කිරීම තුලින් කාම රාග-පටිඝ ඇතිවන හේතුව නැසීමත් මෙම ලිපිය තුලින් අවභෝධ කර ගන්නට පුළුවන්.

ඔබ සැමට තෙරුවන් සරණයි!

රතියා සොකෝ ජායති
රතියා භයං ජායති
රතියා විප්පමුත්තස්ස
සොකෝ නත්ථි භයං කුතෝ
රූපාදියෙහි ඇලීම නිසා සොකය හා භය උපදී එයින් මිදුනාහු හට සෝකයක් හෝ භයක් කොයින්ද?

(ධමිමපදය ප්‍රිය වග්ගය)

බුදුසසුන බැබළවූ අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා..


රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි.මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි...

බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ.මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන 
ශ්‍රාවක පිරිසක්ද වුහ.එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි.අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ.

2. සාරිපුත්ත මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ.නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට පමණි.

3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි.

4. මහා කාශ්‍යප මහ රහතන් වහනසේ
ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

5. අනුරුද්ධ මහරහතන් වහන්සේ
දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ.

6. භද්දිය මහරහතන් වහන්සේ
උසස් කුලයක උපන් භික්ෂූන් අතර ප්‍රධාන තනතුරු හිමිවිය.

7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ
මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍ර ස්ථානය ලැබූහ.

8. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ
අභීත සීහ නාද (භය නැතිව කතා කරන) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.

9. මන්තානි පුත්ත පුණ්න මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

10. මහා කච්චායන මහරහතන් වහන්සේ
බුදුහිමියන් කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තේය.

11. මහාපන්ථක මහරහතන් වහන්සේ
අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.

12. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

13. සුභූති මහරහතන් වහන්සේ
නොකිලිටි විහරණ ඇත්තන්ගෙන්ද,දක්ෂිණාර්භ භික්ෂූන් අතරින්ද අග්‍රස්ථානය ලැබුහ.

14. රේවත මහරහතන් වහන්සේ
ආරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

15. කංඛාරේවත මහරහතන් වහන්සේ
ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

16. සෝණ (කෝලිවිස) මහරහතන් වහන්සේ
පරිපූර්ණ (ආරබ්ධ)වීර්ය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

17. සෝණ (කුට්කණ්න) මහරහතන් වහන්සේ
යහපත් වචන කථා කරන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

18. සීවලී මහරහතන් වහන්සේ
ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

19. වක්කලී මහරහතන් වහන්සේ
ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

20. රාහුල මහරහතන් වහන්සේ
ශාසනයේ ශික්ෂාකාමී අවවාද කැමති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

21. රට්ඨපාල මහරහතන් වහන්සේ
ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

22. කුණ්ඩධාන මහරහතන් වහන්සේ
පළමුවෙන් සලාකගන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

23. වංගීස මහරහතන් වහන්සේ
වහා වැටහෙන නුවණැති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

24. උපසේන මහරහතන් වහන්සේ
ප්‍රසාද එලවුණු සුලු තැනැත්තන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

25. දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ
මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

26. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ
දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

27. මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ
මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

28. කුමා රකස්සප මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

29. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ
චතු පටිසම්බිදාවෙහි (අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන)දක්ෂ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

30. ආනන්ද මහරහතන් වහන්සේ
උපස්ථායකින් අතරින්ද, ධාරණ-සමෘතීන්ගෙන්ද,බුදුන් වදාල තාක් එසේම දරන්නන්ගෙන් අතරින්ද,වීර්යවතුන්ගෙන්ද අග්‍රස්ථානය ලැබූහ.

31. උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ
මහා පිරිස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

32. කාඵදායි මහරහතන් වහන්සේ
කුලයන් සසුනේ පහදන්නන්ගෙන් අග්‍රස්ථානය ලැබූහ.

33. බක්කුල මහරහතන් වහන්සේ
නීරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

34. සෝභිත මහරහතන් වහන්සේ
පෙර විසූ ආත්ම භව සිහි කිරීමේ හැකියාව ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

35. උපාලි මහරහතන් වහන්සේ
විනය දරන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

36. නන්දක මහරහතන් වහන්සේ
මෙහෙණින්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

37. නන්ද මහරහතන් වහන්සේ
ඉන්ද්‍රීය සංවර ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

38. මහාකප්පින මහරහතන් වහන්සේ
භික්ෂූන්ට ඔවදන් දෙන්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

39. සාගත මහරහතන් වහන්සේ
තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

40. මෝඝරාජ මහරහතන් වහන්සේ
රඵ සිවුරු පරිහරණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

41. රාධ මහරහතන් වහන්සේ
මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

42. නාලක මහරහතන් වහන්සේ
නිශ්ශබ්ද පිළිවෙත පුරන ලද්දන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

තනතුරු නොලැබූ (එහෙත් අසූමහා ශ්‍රාවකයන් අතර සිටින) මහරහතන් වහන්සේලා

43. භද්දිය මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් දෙවනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

44. වප්ප මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් තෙවැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

45. මහානාම මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් සිව්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

46. අස්සජි මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් පස්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

47. කිම්බිල මහරහතන් වහන්සේ
ශාක්‍ය වංශික කුමාරයෙකි.කෙතරම් සැප සම්පත් තිපුණද තමා ජරා ජීර්ණ වන බව සිතා අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.

48. භගු මහරහතන් වහන්සේ
අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.

49. චුන්ද මහරහතන් වහන්සේ
සැරියුත් තෙරුන්ගේ බාල සොහොයුරා වූහ.කලක් බුදුරදුන්ට උපස්ථාන කළ භික්ෂුවකි.

50. සේලුදායි (සේල) මහරහතන් වහන්සේ
බ්‍රාහ්මණ වංශිකයෙක් වන මෙතුමා තම ශිෂ්‍යයන් සමග බුදුරදුන් හමුවු විටකදී බුදුරසුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඒකාන්තයෙන් බුදු කෙනෙකු යැයි හැදින පැවිදිව රහත් වූහ.

51. නාගිත මහරහතන් වහන්සේ
කපිලවස්තු නුවර ශාක්‍යවංශිකයෙකුව උපත ලබා මධුපිණ්ඩික සූත්‍රය
අසා ශ්‍රද්ධාවෙන් පැවිදි වී රහත් බව ලැබූහ.

52. තෝදෙය්‍ය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු දහසක් ශිෂ්‍යන් සමග පැවිදි වී රහත් බව ලැබූහ.

53. කප්ප මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු පැවිදි වී රහත් බව ලැබූහ.

54. ජතුකණ්ණි මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් ජාති ජරා මරණාදියෙන් මිදිමට ධර්මයක් දේශනා කරනමෙන් ඉල්ලා පැවිදිව රහත් වූහ.

55. පෝසාල මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි.පසුව බුදුරදුන් හමුවී පැවදිව රහත් වූහ.

56. පුණ්ණක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පැවිදිව රහත් බව ලැබූහ.

57. ධෝතක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන්වහන්සේ සම්මුඛ වී තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි
අසා පැවිදිව රහත් වූහ.

58. නන්ද (දුතීය) මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී මුනිවරයෙකු වන්නේ
කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.

59. අජිත මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පසුව පැවිදිව රහත් බව ලැබූහ.

60. තිස්ස මෙත්ත්‍යෙය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. තම ආචාරිවරයාගේ අනුදැනුම මත බුදුන්වහන්සේ
වෙත පැමිණ ධර්ම සාකච්ඡාවකින් පසු පැහැදී තම ශිෂ්‍ය පිරිසද සමග පැවදිව රහත් වූහ.

61. මෙත්තගු මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී තෘෂ්ණාව ආදිය විමසිමෙන්
පැවිදිව රහත් වූහ.

62. උපසීව මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ උපදෙස් ඇතිව බුදුන්වහන්සේ හමුවී පැවිදිව
රහත් වූහ.

63. හේමක මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ මගපෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හමුවී තෘෂ්ණාව නැති කරන ආකාරය පිලිබද
විමසා පැවිදිව රහත් වූහ.

64. භද්‍රාවුධ මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ අතවැසියෙකි.පසුව ගුරුතුමාගේ අවසරය ඇතිව බුදුන්වහන්සේ වෙත පැමිණ කෙලෙසුන්ගෙන්
මිදීම පිලිබද විමසා සිසු පිරිස සමග පැවිදිව රහත් බව ලැබූහ.

65. උදය මහරහතන් වහන්සේ
සැවැත් නුවර උපන් මෙතුමාද බාවාරි තවුසාගේ උපදෙස් පිරිදි බුදුන් වහන්සේ හමුවී අවිද්‍යාව දුරු කිරීම
පිලිබද අසා පිරිවර සමග පැවිදිව රහත් වූහ.

66. පිංගිය මහරහතන් වහන්සේ
මහලු වියේදී බාවාරි තවුසා වෙත ගොස් තවුස් ජීවිතයක් ගත කර ගුරු‍න්ගේ අනුදැනුම මත බුදුන්වහන්සේ
හමුවීමට ගියත් ගුරුතුමා ගැන සිතමින් ධර්මශ්‍රවණය කල නිසා අනාගාමී තත්වයට පත්විය.පසුව බාවාරි
ගුරුතුමාට දේශනා කල ධර්හයක් අසා රහත් බව ලැබූහ.

67. මේඝිය මහරහතන් වහන්සේ
කිඹුල්වත් පුර ශාක්‍ය වංශයෙහි උපන් මෙතුමා පසුව බුදුරදුන් වෙත පැවිදි වී උපස්ථායක කටුයුතු කළේය.
බුදුරදුන්ගේ උපදෙස් පිරිදි යෝනිසෝමනසිකාරයෙන් භාවනා කර රහත් බව ලැබූහ.

68. පුණ්ණ (සුනාපරන්න) මහරහතන් වහන්සේ
සැවැත් නුවරදී පැවිදිව බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ලබාගෙන තම ගමටම (සුප්පාරක) ගොස් භාවනා
කර රහත් වූහ.

69. උපවාන මහරහතන් වහන්සේ
ජේතවනාරාම පූජාවේදී පැහැදී පැවිදි වූ උපවාන තෙරුන් දිවා රෑ යෝනිසෝමනසිකාරයෙන් භාවනා කොට
විදර්ශනා වඩා රහත් වූහ.

70. යස මහරහතන් වහන්සේ
පළමුව ධර්මය අසා සෝවාන් වී මව් පියන්ට දේශනා කළ ධර්මය අසා රහත් වූහ.බුදු සසුනේ ප්‍රථම තෙරුවන්
සරණ ගිය උපාසක උපාසිකාව වන්නේ මේ මව්පිය දෙදෙනාය.

71. විමල මහරහතන් වහන්සේ
බරණැස් සිටු පවුලක කුමාරයෙක් වන අතර යස තෙරුන්ගේ යහලුවෙකි.

72. සුභාහු මහරහතන් වහන්සේ
ධනවත් සිටු පවුලකට අයත් වූ අතර යස තෙරුන් පැවදි වූ පසු එහි ගොස් දැක පැහැදී මහණ වී රහත් වූහ.

73. පුණ්ණජි මහරහතන් වහන්සේ
පුණ්ණජි මානවකද,යස,විමල,සුභාහු යන මිතුරන් ගිය මගම ගොස් පැවිදිව රහත් වූහ.

74. ගවම්පති මහරහතන් වහන්සේ
යස තෙරුන්ගේ යහලුවෙකු වූ මෙතුමාද අනික් යහලුවන් මෙන් ගොස් පැවිදිව රහත් වූහ.ඍද්ධි
ප්‍රාතිහාර්ය පෑමෙහි දක්ෂ වූහ.

75. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ දෙවනි සහෝදරයාය.උරුවේල කාශ්‍යපගේ පැවිදි වීමත් සමග මොහුද
පිරිසත් සමග පැවිදිව රහත් වූහ.

76. ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ බාලම සොහොයුරාය.සහෝදරයන් දෙදෙන බුදු සසුනට ඇතුලු වූ පසු
තම පිරිසද සමග පැවිදී වී රහත් වූහ.

77. මහා උදායි මහරහතන් වහන්සේ
කිඹුල්වත්පුර බමුණු පවුලක උපත ලබා බුදුරදුන්ට නෑයන්ට ධර්ම දේශනා කළ අවස්ථාවේ පැහැදී බුදු සසුනට
ඇතුලු වී රහත් වූහ.

78. අංගුලිමාල මහරහතන් වහන්සේ
ඇසුරු කලවුන් නිසා නොමග ගොස් ප්‍රචණ්ඩ තැනැත්තෙකු බවට පත්වී අංගුලිමාල මානවකයා බුදුරජාණන් වහන්සේගේ
මහා කරුණාව නිසා මහණ වී රහත් බවට පත්විය.
(අංගුලිමාල පිරිත දේශනා කරන ලද්දේ මෙම රහතන්වහන්සේ විසිනි)

79. යසෝජ මහරහතන් වහන්සේ
ශ්‍රාවස්ථි නගරය අසල ධීවර ගම්මානයක උපත ලදහ.පසුව කලකිරී පැවිදි විය.විදර්ශනා වඩා රහත්වූහ.

80. සභිය මහරහතන් වහන්සේ
මෙතුමාගේ මව ක්ෂත්‍රීය කුමරියකි.තරුණ වයසේදී පරිභ්‍රාජකයෙක් වූ අතර ඒහි භික්ෂු භාවයෙන්
අපසම්පදාව ලබා කෙලෙස් තවන වීර්ය ඇතිව සියලු කෙලෙසුන් නසා රහත් වූහ.

සාධු...සාධු...සාධු... 

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන



ස්වර්ණකලාප්‍රදීප, දර්ශනපති
උඩුගම,
මෝහාන් නන්දන නානායක්කාර

බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ

තමන් අදහනු ලබන ආගම ධර්මය කුමක් වුවද මරණාසන්න අවස්ථාවේදී දර්ශනය වන නිමිති පහක් පිළිබඳව බුදුදහමේ කරුණු සඳහන් වේ.

මරණයට පත්වීමට ආසන්නව සිටින අයෙකුට දර්ශනය වන මෙම පංච නිමිති පිළිබඳව පරීක්‍ෂාකර බලා විමර්ශනයක් සිදුකළ විට මෙම නිමිතිවල ඇති සත්‍ය අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතවත්තු , විමානවත්තු වැනි සූත්‍ර දේශනා කරනු ලැබුවේ මනුෂ්‍යයන් අතින් සිදුවන අකුසල කර්ම වළක්වා කුසල කර්ම රැස් කිරීමටත් එමගින් මනුෂ්‍යයාගේ මෙලොව හා පරලොව සුබ සිද්ධිය සලසාදීම සඳහාත්ය.

බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ. මේ බව කාලාම සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් ඒවා වේ. බුදුරදුන් ලෝකත්‍රයම ඇති සැටියෙන්ම

දේශනා කොට වදාළ හෙයින් ලෝකවිදු නමින්ද හඳුන්වති. එවැනි ධර්මයක් පිළිබඳව සැක සංකා නොමැතිව මරණාසන්න අවස්ථාවේ දර්ශනය වන පංච නිමිති පිළිබඳව විමර්ශනශීලිව සොයා බලා සත්‍ය අවබෝධ කර ගත හැකිවේ.

අග්නි ජාලාවක් දර්ශනය වීම – කාලයාත්‍රා කරන අවස්ථාවේ ගින්දර ගොඩක් පෙනේ යැයි සඳහන් කරන්නවුන් මෙන්ම ඒ බව නොපවසා දනවා දනවා යැයි කියමින් කෑ මොර දෙන අයද සිටිති. තවත් අය කිසිවක් නොපවසා අභිනයන් මගින් ඉරියව් පළ කරති. තවත් අය ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දැමීමට හුලං පිඹිති. තවත් සමහරුන් ජලය සොයති.

අන්ධකාරය දර්ශනය වීම “මට මොකක්වත් පේන්නේ නැහැ. ලාම්පුව පත්තු කරන්න. ලයිට් දමන්න .හරි කළුවරයි. මොකක්වත් පේන්නේ නැහැ. ඉටිපන්දමක් වත් ගේන්න” යනුවෙන් මරණාසන්න මොහොතේ ප්‍රකාශ කරන අය සිටිති. එළියක් රැගෙන එන ලෙස පවසමින් කෑ මොර දෙන අය සිටිති. ඇස් පොඩි කරමින් ඇස් පිලි ගසන අය සිටිති.

වන සතුන් හා වනාන්තර දර්ශනය වීම “හරක් එනවො” ඔන්න අලි එනවෝ මා බේර ගන්න” යනුවෙන් සතුන් ගේ නම් කියමින් කෑමොර දෙන්නවුන් මෙන්ම එසේ නොකියා සතුන් එළවන අභිනයන් පළ කරන්නෝද සිටිති. තවත් සමහරුන් නොයෙක් සතුන් කෑ ගසන හඬට සමාන හඬවල් පිට කරමින් මිය යති. කැලයේ විස්තර ප්‍රකාශ කරන්නෝද සිටිති. තවත් අය කැලයේ ඇවිදින අය මෙන් විපරම් කරමින් වටපිට බලති.

මිය ගිය ඥාතින් හෝ මනුෂ්‍යයන් දර්ශනය වීම

කාලයාත්‍රා කරණ මොහොතේ තම මියගිය නෑ දැ හිතවතුන් දර්ශනය වන්නවුන් මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම ප්‍රකාශ කරමින් කතා කරන අය, එම අයගේ තොරතුරු පවසන්නවුන් මරණින් මතු මනුෂ්‍ය භවයේම උත්පත්තිය ලබන්නෝය.

දෙවිදේවතාවුන් හා දිව්‍ය විමාන දර්ශනය වීම

මිය යන විට ප්‍රසන්න මුහුණින් සමන්විතව මල් සුවඳ හා මල් ගැන කතා කරන, සිනහවන මෙන්ම දුක්මුසු බියකරු හැඟීම් කිසිවක් පළ නොකරන අය වෙති. තවද අහස දෙස බලා සිටිමින් උඩ හිඳින දෙවි දේවතාවුන් ගැන කරුණු සඳහන් කරන්නෝද සිටිති. ඔවුන් දිව්‍ය විමාන, දිව්‍ය සම්පත්, දිව්‍ය රථ ගැන කරුණු දක්වයි. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැනි අයට මෙවැනි දර්ශන පෙනුන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. වර්තමානයේද මෙවැනි දර්ශන පෙනෙන අය සිටිති.

කාල යාත්‍රා කිරීමට ආසන්නව සිටින අයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පිරිත් දේශනා කිරීම, ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදි සිරිත් බෞද්ධයන් තුළ එදා සිට මේ දක්වාම පවතියි. ශාසන ඉතිහාසයේ සඳහන් ධම්මික උපාසක චරිතයෙන් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන අයට දිව්‍ය සැප සම්පත් ලැබෙන බව බුදුරදුන් භික්‍ෂුන් වහන්සේලාට දේශනා කොට ඇත. හදිසි අනතුරුවලින් ක්ෂණයෙන් මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේදැයි ප්‍රශ්නයක් පැන නගී. එහෙත් මේකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් පමණක්ම ප්‍රමාණවත් වේ. විශුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇති පරිදි ජීවියෙකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක්ම වේ. රථ රෝදයක් කැරකෙන විට රෝදය ඒ මොහොතක් පොළොව හා බද්ධ වී පවතින්නේ එක ස්ථානයකින් පමණක් වන්නාසේම ජීවියාගේ පැවැත්ම පවතින්නේද එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බවද පෙන්වා දෙයි. ඊට අදාළව, යම් සිතිවිල්ලක් සත්වයාගේ සිත තුළ පහළ වීද ඒ සඳහා වූ ගති ස්වභාවයක් පවතී. ඒ ගති ස්වභාවය දේව ගතියක් විය හැකිය. මනුෂ්‍ය, පේ‍්‍රත හෝ තිරිසන් ගතියක් විය හැක. දුගති ගතියක් විය හැක.

එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශනය පහළවීම, චිත්තනියාමය ලෙස සඳහන් කළ හැකිය. බුදුරජාණන් වහන්සේගේ මඟ ගමන් කරන්න වුන් වශයෙන් තම තමන්ගේ චිත්තසන්තානයන්, තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන යෑමට සිහි බුද්ධියෙන් හා නුවණින් කටයුතු කිරීමට පුරුදු පුහුණූ වීමට හැකියාවක් ඇත්තේ නම් මරණාසන්න අවස්ථාවේ සුගතිගාමී නිමිති දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔබ අප සියලු දෙනාටම ශක්තිය හා වාසනාව ලැබේවා!

සුගතියට හා දුගතියට මඟ පෙන්වන ධර්ම අධර්ම ප්‍රතිපදාව



මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ
ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත
හක්මන සුමනසිරි හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන දහම් දෙසමින් කොසොල් ජනපදවාසීන්ගේ සාලා නම් බමුණු ගමට වැඩි සේක. බමුණු ගමේ ජනතාව අතරත් අවට ප්‍රදේශය පුරාත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්ති රාවය පැතිර ගියත් ඒ හා සම්බන්ධව උන්වහන්සේගේ සිතෙහි කෙලෙස් හට ගැනීමක් නැත්තේ සම්පූර්ණයෙන්ම කෙලෙස් සියල්ල මුලින් උදුරා දැමූ හෙයිනි.

අරහාදී නවගුණ සමුදායයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ සාලා ගමට වැඩම කැරවීම පිළිබඳ ප්‍රවෘත්තිය මහත් වේගයෙන් දසත පැතිර යන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. ගුණවතුන්ගේ ගුණ පිළිබඳව රාවය පැතිර යන්නේ අසන හැම දෙනා තුළ ම මහත් බැතියක් මෙන් ම සොම්නසක් දනවමිනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග,ද්වේෂ ,මෝහ සම්පූර්ණයෙන්ම දුරු කළ සේක.උන්වහන්සේගේ ගුණ සුවඳ දෙවියන් සහිත සමස්ත ලෝකය පුරා ම පැතිර ගියේ කිසිදු වෙනසක් නැතිවම ය. සීලාදී ගුණ සුවඳ පමණක් ම උඩු සුළගෙහි මෙන් ම යටි සුළගෙහි ද පැතිර යවන්නේ වෙනසකින් තොරව ය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුල මැද අග කියන තුන් තැනම යහපත් වනුයේ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුක්තව දහම් දෙසන බැවිනි. සමස්ත ධර්මදේශනාව ම මුළුමනින් ම පිරිසුදු නිවන් මඟ පැහැදිලි කරන අතර තිරසාර අරමුණ වනුයේ ශ්‍රාවකයා නිවනට පමුණවාලීම යි.

සාලා බමුණු ගමේ වැසියන් මහත් සොම්නසින් බුදුරජාණන් වහන්සේ සොයා ගියේ තමන් සිත් තුළ කලක පටන් පැවති ප්‍රශ්න මාලාවක් නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙනි. බුදුරදුන් හමුවට පැමිණි ඒ පිරිස තම තමන්ගේ පෞරාණික කුල සිරිත් අනුව ගෞරව දක්වමින් පැත්තකින් වාඩි වූ අතර ප්‍රශ්න වාරය පැමිණියේ ඉන් අනතුරුව ය. මුල් ම ප්‍රශ්නය වූයේ සාලා බමුණු ගමේ සමස්ත ප්‍රජාවට ම එකසේ වැදගත් වූවකි.

බුදුරජාණන් වහන්ස, මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් පහව ගිය අපාය නම් වූ නිරයෙහි උපදිනවා නම් එයට හේතුව කුමක්ද? ඒ සඳහා බලපාන ලද කරුණු මොනවා ද? එසේ ම මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් අධික සුගතියෙහි උපදිනවා නම් එයට හේතුව කුමක් ද? ඒ සඳහා බලපාන කරුණු මොනවා ද ? බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ යමෙකු මරණයෙන් පසු අපායෙහි උපදින්නේ නම් එයට ප්‍රධානම හේතුව අධර්මයෙහි දුශ්චරිතයෙහි (අධම්මචරියා -විසමචරියා) හැසිරීමයි. සැප ඇති සුගතියෙහි උපදින්නේ නම් එයට බලපාන ප්‍රධාන හේතුව ධර්මයෙහි සුචරිතයෙහි (ධම්මචරියා – සමචරියා) හැසිරීමයි.

බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන විට අනුගමනය කරන ප්‍රතිපදා දෙකකි. සාරාංශ වශයෙන් හා විස්තර වශයෙනි. ධර්මය සාරාංශ වශයෙන් දේශනා කළ විට ධර්මය කෙරෙහි පි‍්‍රය උපදවන තැනැත්තා දෙසූ ධර්මය විස්තර වශයෙන් දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. සාලා ගම්වැසි ගෘහපතියන්ටත් දැඩි ලෙස අවශ්‍ය වූයේ බුදුරජාණන්වහන්සේ සාරාංශ වශයෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් පැහැදිලි කර දැන ගැනීමට යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අසන ශ්‍රාවකයාට එම ධර්මය තමා ම අරමුණු කර ගෙන තමාට ම දේශනා කරන ධර්මයක් බව වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ චිත්ත සන්තානය තුළ පැවති කෙලෙස්වල අඩු වැඩිකම හඳුනා ගැනීමේ දක්ෂතාවය උන්වහන්සේට ම ආවේණික වූ ගුණයක් නිස යි.

අධර්මචර්යාව හෙවත් විසමචර්යාව කය මුල්කර ගෙන සිදුවන්නේ තුන් ආකාරයෙකිනි. වචනය මුල් කරගෙන එය සිදුවන්නේ සතර ආකාරයෙකිනි. මනස මුල් කරගෙන තුන් ආකාරයෙකින් සිදුවේ.

ලොව වෙසෙන සියල්ලෝ ම තමන්ගේ ජීවිතවලට පි‍්‍රයහ. නපුරු සිතින් යුතුව සත්ත්වයින් කෙරෙහි දයා රහිතව ලේ තැවරුණු අත් ඇතිව ප්‍රාණඝාතයෙහි යෙදේ නම් කයින් කෙරෙන පළමු වරදෙහි යෙදුණාවේ. අන්සතු වස්තුව ගමක නිවසක හෝ පුද්ගලයෙකු සතුව ඇති නොදුන් දෙය සොර සිතින් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම කයින් කෙරෙන දෙවන වරද වේ. ස්වාමියෙකු සිටින එමෙන්ම විවාහ ගිවිස සිටින ස්ත්‍රියක් සමඟ වරදෙහි බැඳීම කාමමිච්ඡාචාරය නම් වේ. වචනය මුල් කරගෙන සිදුවන වැරදි සතරකි. දන්නා දේ නො දන්නා බවත්, දැක්ක දේ නො දැක්ක හැටියටත් ,ඇසූ දෙය නො ඇසූ දෙය ලෙසටත් එසේ නැතිනම් යම් අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් මුසාවාද නම් වේ. මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්නට එතනට කියනව. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්නට මෙතන කියනව. මේ අන්දමින් කේළාම් කීම තුළින් සිදුවන්නේ බරපතල විනාශයකි. කිසිදු ප්‍රයෝජනයක් නැති අනවශ්‍ය අවස්ථාවල කියන, අනර්ථයක් ම ගෙන දෙන වචන හිස් වචන නමින් හැඳින්වේ. මනසේ ක්‍රියාකාරිත්වය තුළින් සිදුවන වැරදි තුනකි.අභිධ්‍යාව යනු විෂම ලෝභයයි. විෂම ලෝභයේ ස්වභාවය නම් අන්සතු වස්තුව තමාට ලබා ගැනීමේ ඇති බලවත් කැමැත්ත යි. අනුනට අයහපත, දුක,වේදනාව, අසහනය ගෙන දෙන සේ සිතීම මෙන් ම ක්‍රියා කිරීම ව්‍යාපාදය නමි. වැරදි දැක්ම මිථ්‍යාදෘෂ්ටිය නම් වෙයි. දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය නමින්ද කරුණු දහයක් ඇත.

අකුසලයේ විපාකය පැහැදිලි කරන විට කුසලයෙහි යහපත ඉතා පහසුවෙන් ම වැටහේ. ප්‍රාණඝාතයෙන් වළකිනවාත් සමඟ ම සකල සත්ත්ව ප්‍රජාව කෙරෙහි මෙත් කරුණාදි ගුණ පැතිරවීමත්,අවි ආයුධ දඬු මුගුරු බහා තැබීමත්, ආදි ගුණ සමුදායක් වරදින් මිදෙනවාත් සමඟ ම හදවෙතෙහි ඇතිවේ.මෙලෙසින් තිදොරින් සිදුවන වැරදි ක්‍රියාවලින් වළකිනවාත් සමඟ ම එය පසුබිම් කරගනිමින් වගා කළ යුතු ගුණධර්ම රාශියකි. දිව්‍යලෝකවල සහ මනුෂ්‍යලෝකයේ සැප සම්පත් වින්දනය කරමින් ජීවත්වීමට හේතු වන්නේ ද කුසලචර්යාව හෙවත් සමචර්යාවයි. ලෞකික සැප සම්පත්වල පවත්නා නිසරු ස්වභාවය අවබෝධ කරගෙන සසර දුකින් මිදී ලබන නිවන් සුව මේ ජීවිතයේ දීම ලැබීම සඳහා උත්සාහ කරන්නේ නම් ඒ සඳහා ද අවස්ථාව උදා වන්නේය.

බුදුරජාණන් වහන්සේ සාලා බමුණු පිරිස හමුව මේ ධර්ම ප්‍රතිපදාව විවරණය කළ විට මහත් සොම්නසට පැමිණි ඔවුහු අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ යන බවට ප්‍රතිඥා දෙමින් දහම් ප්‍රතිපදාව මැනවින් අවබෝධ වූ බව සතුටින් ප්‍රකාශ කළහ.

බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කළ පවින් අවීචි මහ නරකයට



“රේවතිය තී කුමක් නම් දොඩන්නෙහි ද? බුද්ධාදී රත්නත්‍රයට ගැරැහිලිකම් කොටැ මසුරුකම් කොටැ දන් ලබනුවට පැමිණි දුගී මගී යාචකයනට පහර දී ඔවුන් පලවා හැරියා ය. දන්වැට කඩා දමා විනාශ කෙරෙමින් දන්දීම් නවතා දැමී ය.

සුළු තරමින් හෝ පිනක් නොකළ තී තමන් සතු සම්පත් හා යස ඉසුරු කෙරෙහි ලෝභ උපදවා ඒවා සඟවා තබා ගනිමින් අන්‍යයන් කෙරෙහි ද්වේශ කළා ය. එබඳු නුගුණ ඇති අසත්පුරුෂ තී වැනි පාපිෂ්ටයන්ට, කුසල් නොකොටැ දිව්‍ය ලෝකයෙහි පහළ වු මහත් වු යස ඉසුරු විඳින්නා වූ දෙවියන් හා වසන්නට පින් නැත්තේ ය.

එසේ හෙයින් බොහෝ කාලයක් දුක් විඳින්නට මෙම ‘සංසවක’ නරකයෙහි පැසෙනවා හැර වෙනත් තැනක් තොපට උරුමව නැත්තේ ය.” බරණැස් නුවර මහ ධන සිටුහු මහා දානපතිවැ බුද්ධෝපස්ථානයෙහි යෙදී සිටි ‘නන්දික’ උපාසක තෙමේ බොහෝ පින් රැස් කොටැ පරමායුෂය ගෙවා මියගොස් මිනිස් කය හැර දමා තව්තිසා දෙව් ලොවැ බොහෝ වූ දිව්‍ය සම්පත් ලද දිව්‍ය පුත්‍රයකුව පහළ විය.

එකල්හි නන්දිකයනට බිරිඳව සිටි ‘රේවතිය’ සියලු දන්වැට විනාශයට යවා “මෙම ශ්‍රමණයන් නිසා මාගේ සියලු ලාභ සත්කාර ගිලිහී ගියේ ය”යි භික්ෂූන් කෙරෙහි වෛර බැඳ ආක්‍රෝෂ පරිභව කෙරෙමින් තැනින් තැන ඇවිදින්නී, ඇගේ මෙම නින්දා සහගත ක්‍රියාකලාපය දුටු ‘වෙසමුණි මහ රජ්ජුරුවෝ’ තම අතවැසි යකුන් දෙදෙනකු වහා කැඳවා,

“අතවැසියනි, තොප දෙදෙන වහා බරණැස් නුවරට යව, ගොස් බරණැස් නුවර මහ ධන සිටුහු මහා දානපති නන්දික මහා උපාසකයෝ මෙයින් බොහෝ කල් සිට බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දානපතිව මහ දන් පැවැත්වූවෝ ය. දුගී මගී යාචකාදීනට ගෙහි දන් වැට තබා දුන්නෝ ය.

එතුමන්ට බිරිඳව සිටි රේවතිය නම් මිසදිටු ගැහැනිය එතුමෝ මිය පරලොවැ ගිය කල්හි බුද්ධාදී රත්නත්‍රයට නින්දා බස් බෙනෙමින් අවමන් කරන්නේ ය. භික්ෂූන්ට දන් දීමෙන් හා දුගී මගී යාචකාදීන්ට දුන් දන් වැට විනාශ කළා ය.

එසේ හෙයින් එම කුරිරු මිසදිටු රේවතිය මෙයින් සත් වන දින ඹ්වග්‍රහයෙන් ගෙන අවීචි මහ නරකයට ඇද දමන්නාහ යි සියලු බරණැස්පුර වාසීන්ට ඇසෙන සේ හඬ නගා කියව“යි නියෝග කෙළේ ය. අතවැසි යක්ෂයෝ දෙදෙන වෙසමුණි මහ රජ කී සැටියෙන් බරණැස් නුවරට පිවිසියාහු,

“නුවර වාසී මනුෂ්‍යයෙනි, මෙය හොඳින් අසත් වා! බරණැස් නුවර මහ ධන සිටාණෝ මහා දානපති නන්දික උපාසකතුමාට බිරිඳව සිටි රේවතී නම් පව්කාර ගැහැනිය කරන ලද බොහෝ අකුසල් ඇත්තී ය. ඊට වන්දි වශයෙන් මෙයින් සත් වන දවස ඇය පණ පිටින් ම අවීචි මහා නරකයට ඇද දමන්නේ ය.

මනුෂ්‍යයනි, ඇයට වන්නා වු මහා විනාශය සිහි නුවණට ගෙනැ නුවර වාසීහු රේවතිය මෙන් පව්කම් නොකරත් වා! පින්කම් ම කරත් වා!! ඇය මෙන් මිසදුටු නොවී බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි විශ්වාසය තබත් වා! බුදුන් ප්‍රමුඛ මහා සංඝයා ට දන් පුදත් වා! දුගී මගී අසරණයන්ට දන් දෙත් වා!” යී නුවරුන්ට ඇසෙන සේ මහත් උද්ඝෝෂණයක යෙදුණාහ.

අතවැසි යක්ෂයන්ගේ ඒ මහා ඝෝෂාව අසා බොහෝ මනුෂ්‍යයෝ භයින් තැති ගත්තාහු ය. කටයුතු නොකටයුතු තේරුම් ගත නොහැකි ව තම තමන් ගේ ඉෂ්ඨ දේවතාවනට නමස්කාර කෙරෙමින් ආරක්ෂාව පැතූහ.

යක්ෂයන් දෙදෙනාගේ බියකරු වදන් පෙළින් බියටත් ත්‍රාසයටත් පත් වූ රේවතිය ප්‍රාසාදයේ මතු මහලට නැගී දොරවල් වසා අගුලු ලා ගත්තා ය. ඇගේ අකුසල කර්මය හේතුකොට ගෙනැ සත් වැනි දවස වෙසමුණි මහ රජු විසින් අණකර එවන ලද යක්ෂයන් දෙදෙන උඩු මහලෙහි සැඟවී සිටි රේවතිය කරා පැමිණ ඇගේ දෑත් එක් කොටැ ගැටගසාලුහ.

එසේ කොටැ ප්‍රාසාදයෙන් පිටතට ගෙනැ පව් කළ වුන් විඳින්නා වූ දඬුවම් මෙසේ යයි කියන්නා සේ බරණැස් නුවරට ගෙනැ ගොස් වීථියක් පාසා ගෙන යමින් ගල් මුල් ආදියෙහි බිම ලා අදිමින් හිංසනයට පත් කර යළි අහසට ඔසවා ගෙන ගොස් තව්තිසා භවනෙහි නන්දික දේව පූත්‍රයාගේ විමන් දොර අභියස සිටවූහ.

එකල්හි විචිත්‍ර වු ද, මනෝරම්‍ය වූ ද, ස්වර්ණමය දිව්‍ය විමානය දුටු රේවතිය එයින් වශීකෘත වූයේ, “දහසක් දෙවඟනන් හා දේව සමූහයා පිරිවරමින් මේසා මහත් වූ දිව්‍ය සැප හා දිව්‍ය සම්පත් විඳින මොහු කවරෙක් ද? කිනම් තැනෙක සිට පැමිණයේ දැ”යි යක්ෂයන් විචාලා ය.

එසේ විචාල කල්හි “මේ තෙමේ වනාහි පූර්ව ආත්මයෙහි මිනිස් ලොවැ බරණැස් නුවර විසූවෙකි. බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි පැහැදුනා වූ සත් පුරුෂයෙකි. මසුරු නොකොට දන් දීමෙහි පරිත්‍යාගශීලී වූවෙකි. පොහොය අත නෑර සිල් සමාදන් වූවෙකි.

බොහෝ කුසල් සිදු කොටැ ඇති හෙයින් මිනිස් ලොවින් චූත වන්නටත් පෙරැ එතුමෝ වෙනුවෙන් මෙම දිව්‍ය විමානය පහළ විය. දහසක් දිව්‍යාංගනාවෝ විසින් පිරිවරන ලදුව දෙපස සැදී දේව සමූහයා මධ්‍යයෙහි හිරු මඬලක් සේ බබළන්නා වූ තෙල පෙනෙන දිව්‍ය පුත්‍රයා නම් මහා දානපති නන්දික උපාසකයෝ ය”යි යක්ෂයින් කීහ.

ඒ ඇසූ රේවතිය මහත් උනන්දුවෙන් “පින්වතුනි, එහි පෙනෙන්නේ නන්දික උපාසකයෝ නම් ඒ මාගේ ස්වාමි පුරුෂයාණෝ ය. ඔහු සමඟ එක ගෙයි වෙසෙමින් යස ඉසුරු විඳී මම නන්දික ගේ භාර්යාව වෙමි. එසේ හෙයින් මා ද ඔහු සමඟ දිව්‍ය විමානයෙහි වසන්නට කැමැත්තෙමි. මම ඔහු ගේ සම්පත් ප්‍රිය කරමි. නරකයට යන්නට හෝ එහි වැටී දුක් විඳින්නට හෝ මම නො කැමැත්තෙමි. මට එහි යාමට අවකාශ දෙව“යි ඉල්ලා සිටියාය.

ඇගේ වචන ඇසු යක්ෂයෝ “රේවතිය තී කුමක් නම් දොඩන්නෙහි ද? බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කොට, මසුරුකම් කොටැ, දන් ලබනුවට පැමිණි දුගී මගී යාචකයනට පොලු මුගුරු ගෙන පහර දී ඔවුන් පලවා හැරියා ය. දන්වැට කඩා දමා විනාශ කෙරෙමින් දන් දීම් නවතා දැමී ය. එහෙව් දුෂ්ටකම් කළ තිට කවර නම් දිව්‍ය සැපතක් ද?

පාපිෂ්ට අසත්පුරුෂ ගැහැනිය තී ගැන නන්දිකයෝ සිත නො අලවන්නාහ. එහෙයින් තිගේ නිරර්ථක ප්‍රාර්ථනාවලින් සිද්ධවන යහපතක් නැත්තේ ය, තී කැමැත්තේ හෝ නො කැමැත්තේ නරකයට ම යවන්නෙමු”යි කියා එතැනින් ‘සංසවක’ නම් නිරය වෙත ගෙන ගොස් එහි සිටවූහ.

එසේ සිටුවා, “රේවතිය තී මිනිස් ලොවැ වසන කල්හි සුළු තරමින් හෝ පිනක් නොකළා ය. තමන් සතු සම්පත් හා යස ඉසුරු කෙරෙහි ලෝභ උපදවා ඒවා සඟවා තබා ගනිමින් අන්‍යයන් කෙරෙහි ද්වේශ උපදවාලී ය. එබඳු නුගුණු ඇති අසත්පුරුෂ තී වැනි පාපිෂ්ඨයන්ට කුසල් කොටැ දිව්‍ය ලෝකයෙහි පහළ වු මහත් වූ යස ඉසුරු විඳින්නා වු දෙවියන් හා වසන්නට පින් නැත්තේ ය.

රේවතිය, එසේ හෙයින් බොහෝ කාලයක් දුක් විඳින්නට මෙම සංසවක නරකයෙහි පැසෙනවා හැර වෙනත් තැනක් තොපට උරුමව නැතැ”යි පැවසූ යක්ෂයින් දෙදෙනා එතැනින් අතුරුදහන් වුහ.

ඉක්බිති යමපල්ලන් දෙදෙනෙක් පැමිණ ඇය සංසවක නිරයට ලනු පිණිස ඇදගෙන ගියහ. එසේ ඇදගෙන යන යමපල්ලන් දෙදෙනා කියන්නාහු ය.“රේවතිය, තී සංසවක නිරයට ඇද දැමූ කල්හි තිගේ ශරීරය තුන්ගව් තරම් උස් වන්නේය. නාසය පුපුරා පැළී යන තරම් මහා දුර්ගන්ධයක් ඇති අසූචියෙන් පිරුණා වූ සංසවක නිරයෙහි තී කල්ප ලක්ෂ සංඛ්‍යාත ගණන් පැසීමට නියමිත ය.

රේවතිය යක්ෂයින් විසින් ගෙන ගිය බව භික්ෂූන් වහන්සේ වෙතින් දැනගත් බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, රේවතී මෙලොව වසන කල්හි ඇය විසින් සිදුකරන ලද කෙළවරක් නැති පාප කර්මයන්ගේ විපාක ඇය විසින් විඳිය යුතු හෙයින් ඇය සංසවක නම් නිරයෙහි පැසීමට ඒ හේතුවී ය”යි ඇය පිළිබඳව සියලු පුවත් සැකෙවින් වදාරමින් ‘චතුස්සත්‍ය’ මාතෘකා කෙරෙමින් ධර්මය දෙසූ සේක. දේශනය අවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ආදී සතර මග සතර ඵලයන්ට පැමිණියාහ.

උඩුබද්දාවේ
සෝමරත්න බන්නැහැක
සිතුවම් - ආරියසිරි කොඩිතුවක්කු

රූප සුන්දරිය පණු සුන්දරිය වූ වගයි!


රූප සුන්දරිය පණු සුන්දරිය වූ වගයි!

අනිත්‍යය නොහඳුනන භික්ෂුවකට ඒ පිළිබඳ අවබෝධය ලබාගැනීමට බුදු රජාණන් වහන්සේ ලබා දුන් ප්‍රායෝගික අවස්ථාවක් මේ ලිපියෙන් හෙළි වේ.


සුසීමා දමයන්ති සමරසිංහ
පොල්ගහවෙල

සිරිමා නමැත්තිය රජගහ නගරවාසී සියල්ලන් දන්නා හඳුනන රූප ශෝභාවෙන් අතිශය පියකරු යෞවනියක්. ඇය සුපතළ ජීවක වෙදතුමාගේ නැගැණියයි. එසේම ඇය නිශ්චිත ඵලයක් නැති අරමුණකට කය වෙන්දේසි කොට තබන සුප්‍රසිද්ධ නගර ශෝභිනියකි; ගණිකාවකි.
දිනක් ඇගේ දෙසවනට බුදු බණ ඇසිණි. සිතුවිලි වෙනස් වනු දැනිණි. බුදුහාමුදුරුවන් දෙසූ දහම් සිත ඇතුළට ම කිඳාබැස ගොස් තිබිණි. ධර්මය ඇසූ සිරිමාව සෝවාන් ඵලය ලබාගත්තා ය.
“අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි.”
බුදුන් වහන්සේගේ දේශනාවෙන් ජීවිතයෙහි යථා තත්ත්වය
ඇයට අවබෝධ විය.
“කොහෙද ඉතින් මේ වන තුරුත් කායික සබඳතා ඇති කරගත්තා මිසක්, ආධ්‍යාත්මික සබඳතාවක් ඇති කරගත්ත එකක් යෑ! දැන් වත් දැහැමින් ජීවත් වන්න ඕනෑ.”
ජීවිතය පිළිබඳ යම් හෝ අවබෝධයක් නොතිබුණු ඇය ලබාගත් ධර්ම අවබෝධයෙන් ඇයගේ ජීවිතය වෙනස් විය.
දිනක් බුදුහාමුදුරුවන් හමු වීමට ගිය ඇය උන් වහන්සේට වැඳ නමස්කාර කර ‘ස්වාමිනී, හෙට දිනයේ මාගේ නිවෙසට වඩිනු මැනවි. ඔබ වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට මම දානයක් පිළිගන්වන්නෙමි.” යි කීවා ය.
ඒ අනුව ඇය ‘අට්ඨසලාකභත්ත’ නම් වූ දිනපතා සලාක ක්‍රමයට තෝරාගත් සංඝයා වහන්සේ අට නමකට දන් දීමට බුදුරදුන්ගෙන් අවසරය ලබාගත්තා ය.
සිරිමාගේ ආරාධනාව පිළගත් බුදු හිමියන්ගේ අනුමැතිය පරිදි දිනපතා අටනමක් වැඩියහ.ඒ දානය පිළිබඳව මෙබඳු කතාවක් ඇති විණි.
“ඉතාම ප්‍රණීතයි, බොහෝම ශ්‍රද්ධාවෙන් දානය පූජා කරනවා. එකනමකට පූජා කරන දානය තුන්හතර නමකට ම සෑහෙනවා. ඒ විතරක් ද? ඇගේ රූප ශෝභාව මෙන්න මෙහෙමයි, මෙන්න මෙහෙමයි...”
දිනක් ඒ භික්ෂූන් අතරට වැඩහුන් ආගන්තුක තරුණ භික්ෂුවකට එය කන වැටිණි. ඉන් සැල වූයේ දානයටත් වඩා ඇගේ අතිවිශිෂ්ට වූ රූප ශෝභාවේ වර්ණනාව යි. ඔහුට ඈ පිළිබඳ අදහසක් පහළ වුණා.
මේ භික්ෂුව නොසන්සුන් විය.
“හරි!, මම හෙට ම යනවා ඔය කියන සලාක බත් වාරයට.’’
එදින දානයට වඩින භික්ෂූන් අතරට මේ ආගන්තුක තරුණ භික්ෂුව ද එක් විය. එහෙත් සිදු වූයේ අනෙකකි.
“අද සේවිකාවන් විසින් දානය පිළිගන්වනවා. එතකොට ඊයේ භික්ෂූන් වර්ණනා කළේ ඈ පිළිගැන්වූ දානය පිළිබඳව. ආ.. අර සිරිමා ද? ඇය තම සේවිකාවන්ගේ වාරුවෙන් වඳින්න වෙන්න ඇති එන්නෙ. කෝ අර පැලඳගෙන ඉන්නවයි කීව ආභරණ. හොඳටම දුර්වල වෙලා. ඊයේ අසනීප වෙන්න ඇති.’’
සිරිමාගේ වෙව්ලමින් නැවෙන අතපය, එක් වුණ දෑත් හරියට සුළඟට සෙලවෙන දිරච්ච අතුරිකිලි වගෙයි. කොයි වෙලාවේ ඇදවැටෙයි ද කියන්න බෑ.
අර ආගන්තුක තරුණ භික්ෂුව ලබාගත් දානය නොවළඳා ම විහාරයට වැඩම කොට පාත්‍රය පසෙකින් තබා හාන්සි විය.
“ස්වාමීන් වහන්ස, දානය වළදන්න.”
“මට දානය එපා.”
දින තුනක් ම ඔය විදියට ගත වන අතරතුර තෙවන දින හැන්දෑවේ, අර රෝගය නිසා සිරිමා කාලක්‍රියා කළා ය.
“ජීවක වෙද තුමාගේ නැගැණිය - සිරිමා කළුරිය කළා.”
ඒ, රජ්ජුරුවන්ගෙන් බුදුහාමුදුරුවන්ට පණිවිඩයකි.
‘මේ තමා හොඳම අවස්ථාව. ආස්වාද පක්ෂයේ දුවපු අය රූපයේ ආදීනව දැකලා කලකිරිලා නිස්සරණය පිළිගනියි. එයින් නික්මීමට, වෙන් වීමට, මිදීමට අවස්ථාවක් කරගන්ට ඒ අයට හොඳම අවස්ථාව මෙයයි.
බුදු රජාණන් වහන්සේ සිතූහ.
“සිරිමාගේ ශරීරය දවන්න එපා. අමුසොහොනෙහි බලුකැණහිලුන්ට කිට්ටු වෙන්න බැරි තරමට ආරක්‍ෂා කරලා තබන්න.”
උන් වහන්සේ ඉක්මනින් පණිවිඩයක් යැවූ සේක. දින තුනක් ගත විය.
“දරුවන් නිවෙස්වල තියලා අමුසොහොනට අනික් හැම දෙනාම පැමිණිය යුතුයි. නොපැමිණියොත් කහවණු අටක දඩයක්!” යනුවෙන් අණබෙරයක් රජගහ නුවර වටා ගියේ ය. රජ්ජුරුවෝ පැමිණ බුදුහාමුදුරුවන්ටත් සංඝයා වහන්සේලාටත් ආරාධනා කළේ ය. එහි වඩින්නට බුදු හාමුදුරුවන් ද සංඝයා වහන්සේලා ද වැඩම කරන වෙලාවේ එක් භික්ෂු නමක් සිරිමාව නිසා සිහි මුළා කරගත් අර ආගන්තුක භික්ෂුව ළඟට පැමිණියේ ය.
“අද ශාස්තෲන් වහන්සේ සිරිමා බලන්න යනවා. ඔබ වහන්සේත් එනවාද ?”
“අපොයි ඔව්. යන්න ඕනෑ.”
පාත්තරේ පිළිණු බත් විසිකරලා සෝදලා බලන කොට මළකඩත් අල්ලලා. ඉක්මනට ශුද්ධ පවිත්‍ර කරලා එල්ලා ගෙන පිටත් වුණා.
“මේ මොකද පිරිස මෙතන රැස්වෙලා?”
කුණු ශරීරයක් පුපුරපු කුණු බත් හැළියක් වගේ, පණු කැදල්ලක් වගේ නව දොරින් පණුවන් වැගිරෙනවා.
“රජතුමනි, කාගෙද මේ සිරුර?” බුදු රජාණන් වහන්සේ රජතුමාගෙන් විමසූ සේක.
“ස්වාමීනී, ජීවක වෙදතුමාගේ නැගැණිය, සිරිමාගේ සිරුයි මේ.”
“එහෙනම් නගරයේ අණබෙර ගහලා මේ ශරීරය වෙන්දේසි කරන්න” බුදු රජාණන් වහන්සේ වදාළ සේක.
කහවණු දහසේ සිට අඩු කර, කහවණුව අඩුම මුදලට කාකණිය දක්වා අඩු කර වෙන්දේසියේ තැබිණ. කවුරුවත් ගන්න ඉදිරිපත් වුණේ නැත.
“නොමිලේ දෙනවා.”
ඒත් එය ගන්නා අයෙක් නම් නැත.
“මහණනි, බලන්න. මහජනතාවට පි‍්‍රය මේ කාන්තාව පෙර මේ නගරයේ ම දහසක් දීලයි එක දවසකට වෙන් කරගත්තේ. දැන් නිකම්වත් ගන්න කෙනෙක් නැහැ.”
බුදු රජාණන් වහන්සේ රූපයේ ස්වභාවය වදාළ සේක. මුළාවට පත් භික්ෂුවට සත්‍ය තත්ත්වය වැටහිණි. අන්ධ වූ ඇස් විවර විය.
“ලොව මම, මගේ, මගේ ආත්මය යැ යි ගත හැකි කිසිවක් නැත.”
ධර්මය අවබෝධ විය. සෝවාන් ඵලයට පත් විය.

(ධම්මපද අටුවාව ඇසුරු කැරිණි.)